මූල්‍ය සාක්ෂරතාවය

මූල්‍ය සාක්ෂරතාවය

  • Youlead|  
  • May 25, 2021

මූල්‍ය නිදහස ගෙනෙන මූල්‍ය සාක්ෂරතාවය

මුදල් ගැන ඔබ කනස්සල්ලෙන්ද ඔබේ ආදායම් –  වියදම් පාලනය කරගන්න ආකාර ගැන ඔබ සිතනවද? එහෙමත් නැතිනම් මුදල් ටික වැඩි වර්ධනය කරගන්න ක්‍රම ගැන ඔබ සිතමින් ඉන්නවද? එසේනම්  ඔබ මුදල් කළමනාකරණය ගැන  (මූල්‍ය සාක්ෂරතාව) ඉගෙනගැනීමේ මුල් පියවර දැනටමත් තබා අවසන්.

මූල්‍ය සාක්ෂරතාවය යනු කුමක්ද?

මූල්‍ය සාක්ෂරතාවය කියන්නේ අපි අපේ මුදල් වඩා හොඳින් කළමනාකරණය කරන අකාරය ඉගෙන ගැනීම. ඉපයූ දෙය පරිස්සමින් වියදම් කරන්නේ කෙසේදයන්න පමණක් නොව ඔබට අවශ්‍ය මුදල උපයාගන්න අවශ්‍ය මූල්‍ය සැලසුම් හදාගන්න ආකාරයත් ඒ යටතේ ඉගෙන ගන්න පුළුවන්. 

මූල්‍යමය සාක්ෂරතාව ඇති කරගන්නා අකාරය.

මූල්‍යමය සාක්ෂරතාවයේ මුල්ම පියවර වන්නේ , ඔබේ ඉපයීම් කුඩා වුණත් විශාල වුණත් , එය හොඳින් කළමනාකරණය කළ යුතුය යන්න පිළිගැනීමයි. ඔබට මූල්‍ය කළමනාකරණය ගැන හොඳ දැනුමක් තිබෙනවා නම්, ඔබට ඔබේ මුදල් ප්‍රමාණය වැඩිකරගන්න (වර්ධනය කරගන්න) පුළුවන්. හැබැයි ඒ සඳහා ඔබ මූල්‍ය කළමනාකරණ ක්‍රම ගැන දැනුවත් වෙන්න ඕනේ. 

ඔබ කුඩා දෙයක් මිලදී ගැනීමේදී මෙන්ම වීශාල මුදලක් අවශ්‍යවන දෙයක් සහා වියදම් කිරීමේදීත්, ඔබ ඔබේ අතේ ඇති මුදල් ප්‍රමාණය  ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. “ඉපයුම්  දැන කරනු වියදම්” කියලා අපේ පැරැණ්නන් කීවේ මේ අදහස. මුල්‍ය සාක්ෂරතාවය  වැදගත් වන්නේ, හුඟක් අය උපයන ප්‍රමාණයට වඩා වැඩියෙන් වියදම් කරන්න යන නිසා. මොකද එහෙම කරලා කවදාවත් ඔබට මුල්‍යමය වශයෙන් සාර්ථක වෙන්න බැහැ. මුල්‍ය සාක්ෂරතාවය තියෙන කෙනෙක් එහෙම කරන්නේ නැහැ.

ඔබ දැනට රැකියාවක් කරන්නේ නැත්නම්, ඔබේ මූලික වියදමවත් පියවගන්න ක්‍රමයක් ඔබ විසින් මුලින්ම  සොයාගන්න ඕනේ. එමෙන්ම  ඔබට අය – වැයක්තිබීම වඩා සුදුසුයි. ඔබේ සෑම මාසයකම සියලු වියදම් හා අදායම් ලිවීමේ පුරුද්ද හදාගන්න. කිසි විටක ඔබ උපයන  මුළු මුදල වියදම් කරන්න එපා. ඔබේ මාසික වියදම් සැලැස්ම සකසන විට, හදිසියකට බෙහෙත් ටිකක් ගන්න වගේ දේවල් වලට වියදම් කරන්න මුදලක් වෙන් කරන්න.  එමෙන්ම රක්ෂණයක් තිබීම හරහා ඔබේ සමහරක් අනපේක්ෂිත සෞඛ්‍ය වියදම් ආවරණය කරගන්න පුළුවන්.  ඔබේ සියලු මාසික වියදම් සැලසුම් කිරීමේදී මාසික ආදායම ගැන හිතලා ඒක කරන්න. 

ඊළඟ පියවර වන්නේ ඔබේ මුදල් වර්ධනය කර ගැනීම සඳහා මූල්‍ය  වෙළඳපොලේ ඇති මාර්ග පිළිබඳව සොයා බැලීම. ඔබට ඉහළ පොලියක් ලබාගත හැකි  ඉතුරුම්  මාර්ග  මොනවාද? ඔබ ණයවර පත්” (Credit Card) පාවිච්චි කරනවානම්, බොහොම විනයක් ඇතිව වගකීම් සහගතවයි එය කරන්න ඕනේ. එහෙම කළොත් තමයි එය හොඳ ගනුදෙනු මාධ්‍යයක් වන්නේ. ඒ වගේම ඔබේ මුදල් අනාගතය සඳහා වර්ධනය  කරදෙන, ගිණුම් හෝ ආයෝජන මාර්ග මොනවද කියලා හොයලා බලන්න ඕනේ. ඔබේ මුදල් ඔබේ අනාගත ආරක්ෂාව  වෙනුවෙන් පැටවු ගහන ආකාරයටයි ඔබ ඒවා ආයෝජනය කළ යුත්තේ. ඒ වගේම අනෙක් අය වියදම් කරන ආකාර දැකලා කණගාටු වෙන්න හෝ, ඔබත් ඒ වගේ වියදම් කරන්න යන්න ඕනේ නැහැ. ඔබේ වියදම් නිතරම ඔබේ අය- වැය සීමාව තුල රඳවාගන්න. ඔබ ඔබේ මුදල් අරපිරිමැස්මෙන් හා බුද්ධිමත්ව යොදවන්න,  ඔබ වගබලාගන්න ඕනේ. නැත්නම් ඔබ අමාරුවේ  වැටෙනවා. 

 

මූල්‍ය සාක්ෂරතාවයේ මූලිකාංග. 

  • ඔබ වෙනුවෙන්  අය-වැයක්”  සකසා ගන්න. ඔබේ ආදායමෙන් ඒ ඒ දෙය සඳහා  කොපමණ මුදලක් වියදම් කරනවාද? එහිදී  ඔබ කළයුතු වියදම් හා කිරීමට ආශා කරන දේ සඳහා වන වියදම් ද ඇතුළ්කරන්න. ඔබේ සතුට වෙනුවෙන් හෝ මිතුරන් වෙනුවෙන් කරනා වියදම් නොකර සිටිය යුතුය යන්න ඉන් අදහස් කරන්නේ නැහැ. 
  • ඔබේ වියදම් අඩුකරගත හැකි මාර්ග පිළිබඳව සොයා බලන්න. ඔබට අනවශ්‍ය හෝ අධික වියදම් කපා හැරීමඔබට අවශ්‍ය දෙයම ඊට වඩා මිල අඩු ස්ථානයකින් මිලදී ගැනීම. මිල අඩුකිරීම් හා වට්ටම් අනුපාත පිළිබඳව සොයා බැලීම. මිලදී ගනු ලබන ප්‍රමාණය අඩු කිරීම. ඔබ මිලදී ගන්න brand එකට වඩා මිල වාසි  අත්කරගත හැකි වෙනත් brand එකක් වෙත මාරුවීම. මෙවැනි  මාර්ග වලින් ඔබට වියදම් අඩු කරගන්න පුළුවන්. 
  • ඔබේ මුදල් වියදම් වන ආකාර පිළිබඳව විමසිලිමත් වන්න. මාසයක හෝ දෙකක කාලයක් සඳහා ඔබේ සියලු වියදම් ලියන්න. ඉන් අනතුරුව ඔබේ මුදල් වියදම් වී ඇත්තේ කුමන දේවල් සඳහා දැයි විමසා බලන්න. එවිට ඔබට  පාලනය කළහැකි වියදම් හඳුනාගන්න පුළුවන්. මෙය දිගටම කිරීම මඟින් ඔබට හොඳ  පාලනයක් ඇතිකරගන්න පුළුවන්. 
  • ඔබේ අදායම වැඩි කර ගැනීමේ ක්‍රම ගැන සොයා බලන්න. ඉහල වැටුපක් ලැබෙන රැකියාවකට මාරු කිරීම , දෙවන අදායම් මාර්ගයක් නිර්මාණය කර ගැනීම, ආදී මෙම විකල්ප ගැන ඔබට සිතන්න වෙන්නේ, දැනටමත් ඔබට අදායම් කොහෙත්ම ප්‍රමාණවත් මදිනම් . හැබැයි ඔබ , මුදල් කළමනාකරණය ගැන ඉගෙන ගන්නේ නැතිව ඉපයුම් වැඩි කරගත්තා කියලා , ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු නම් ලැබෙන්නේ නැහැ. 
  • ඔබේ මුදල් වර්ධනය කරගත හැකි සියළු මාර්ග පිළිබඳව සොයා බලන්න. බොහෝ දෙනා දන්නේ  බැංකු  ගැන පමණයි. ඉන් ඔබ්බට ගොස්, මූල්‍ය ආයතන, ආයෝජන අවස්ථා, රාජ්‍ය බැඳුම්කර, කොටස් වෙළඳපොල වැනි මාර්ග පිළිබඳව සොයා බලන්න. නමුත් ඔබ ආයෝජනය කරන ස්ථානය ගැන සැලකිලිමත් වන්න.  තීරණය කිරීමට පෙර  හොඳින් සොයා බලන්න. අන් අයගේ ද අදහස් විමසා බලන්න. ඉහළ ප්‍රතිලාභ දුන් පමණින් මුදල් ආයෝජනය කරන්න එපා. 
  • වැල්පොලියමඟින් වාසි අත්කරගන්න පුළුවන්, මේ සඳහා ඔබ සිදුකළ ඉතුරුම් / ආයෝජනය කළ මුදල්  හා එහි පොලිය ආපසු නොගෙන දිගටම තියෙන්න හරින්න. එවිට ඔබේ පොලියටත්, පොලී හැදෙමින් ඔබේ මුදල් වර්ධනය වෙනවා.
  • ණය ගැනීම් වලදී ප්‍රවේසම් වන්න. ඔබ ණයට මුදල් ගන්න පෙර එය ආපසු ගෙවීමේ හැකියාව ගැන හොඳින්ම සිතන්න. ගෙවීමට අපහසු නම් ණය ගැනීමට උත්සාහ නොකරන්න. ඔබ ණය ගන්නවා නම්, පොලී අනුපාත, ණය ගෙන කරන්නට යන්නේ කුමක්ද? මීට වඩා අඩු පොලියකින් ගත හැකි තැන් තිබේද? ඇපයක් තැබිය යුතුද? ගෙවීමට නොහැකි වුවහොත් ඇප සුරැකුම් වලට වන්නේ කුමක්ද? ආදී බොහෝ දෙය සොයාබැලිය යුතුයි.  

 

ඔබට හොඳින් සැලසුම් කර, එම සැලැස්මට අනුව කටයුතු කළහැකි නම්, මුදල් ගැන කරදර විය යුතු නැත. හොඳ මූල්‍ය පාලනයක් ඔබට ඔබේ මුදල් වර්ධනය කරගැනීමට අවස්ථාව හා සුව පහසු ජීවිතයකට අවස්ථාව උදාකරයි.   

 

 

 

මෙහි අන්තර්ගතය පිළබඳව සම්පූර්ණ වගකීම නිර්මාතෘවරුන් විසින් දරනු ලබන අතර USAID හෝ එක්සත් ජනපද රජය, යුරෝපා සංගමය හෝ සංවර්ධන හා සහයෝගීතාවය පිළිබඳව ස්විස් නියෝජිතායතනයේ අදහස් හෝ මතයන් ඒ තුළ පිළිබිඹු නොවේ.

නවතම තොරතුරු

වෘත්තීය පෞරුෂත්වය

Read more

තාක්ෂණ සාක්ෂරතාවය

Read more

සාමූහිකත්ව/කණ්ඩායමක් ලෙස වැ...

Read more

සමාජ කුසලතා

Read more

සමාජ වගකීම

Read more

වෘත්තීයභාවය.

Read more

ඵලදායීතාවය

Read more

ගැටලු විසඳීම

Read more

මාධ්‍යය සාක්ෂරතාව

Read more

නම්‍යශීලී කුසලතාවය.

Read more

අප හා සම්බන්ධ වන්න