ජීවිත කාලය පුරාම ඉගෙනීම

Life Long Learning

 

ජීවිත කාලය පුරාම ඉගෙනීම / ස්වයං දිශානතිය

 

ඔබ නිරන්තරයෙන් ඉගෙනීමට පෙළඹී සිටිනවාද? නව විෂයයන් ගැන ඉගෙන ගැනීමට සහ ලෝකය වඩා හොඳින් තේරුම් ගැනීමට ඔබ කැමතිද? ඔබ නිරන්තරයෙන්  අලුත් දේවල් ඉගෙන ගන්නවා නම්, ඔබ ජීවිත කාලය පුරාම ඉගෙන ගන්නෙකි. එවන් අයෙකු වීමට ඔබ කැමති නම් ,  ස්වයං අභිප්‍රේරණයක්  හෝ ස්වයං දිශානතියක් ඔබට තියෙන්න ඕනේ. හුඟක් අය පාසල් අධ්‍යාපනය   නිමකරාම , දැන් ඉගෙන ගෙන ඉවරයි කියලා හිතනවා. එතනින් එහාට ඉගෙන ගන්න උනන්දු වෙන්නේ නැහැ.  බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යය හෝ ප්‍රවෘත්තී  වලින් පමණක් සෑහීමකට පත්වෙනවා.

 

ඉහළ පෙළඹවීමක් තියෙන, ඉතා සුළු පිරිසක් පමණක් ඉගෙනීම හා වර්ධනය ජීවිතය පුරාවට කරගෙන යනවා. එසේ කිරීම අපේ ජීවිත වලට ඉතාම වැදගත්. අපේ ලෝකය නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඉතින් අපි කොහොමද  එකතැනක වාඩිවෙලා අලසව නිකං බලන්  ඉන්නේ. නව විෂයයක් හෝ නිපුණතාවයක් ඉගෙනීම ලෝකයේ සිදුවෙමින් පවතින දේ පිළිබඳව වඩාත් දැනුවත් වීමට සහ රැකියා ස්ථානයේ ඉදිරියට යාමට ඔබට උපකාරී වෙනවා.

 

ජීවිත කාලය පුරාම ඉගෙනීම / ස්වයං දිශානතිය යනු කුමක්ද?

 

ජීවිත කාලය පුරාම ඉගෙනීම යනු ස්වේච්ඡා හා ස්වයං අභිප්‍රේරිත ඉගෙනීමයි. එසේ දැනුම සොයන්නට යොමු වීම  වෘත්තීය හෝ පෞද්ගලික හේතු මත සිදුවෙනවා වෙන්න පුළුවන්. එය ඔබ උනන්දුවක් දක්වන දෙයක් විය යුතුයි.  එය ඔබගේ ජීවිතයේ සෑම අංශයකින්ම ඔබට බොහෝ ප්‍රතිලාභ ලබා දෙනු ඇත.

 

ජීවිත කාලය පුරාම ඉගෙනීමේ නිරත වන්නේ කෙසේද? / ස්වයං දිශානතියක් සහිත වන්නේ කෙසේද?

 

ඉතිහාසය පුරාම ලොව ශ්‍රේෂ්ඨ චින්තකයින් සහ විවිධ ක්ෂේත්‍ර වල ජයග්‍රහණ අත් කරගත් අය, ඔවුන්ගේ ජීවිතයේ කොටසක් ලෙස කියවීම සහ ඉගෙනීම දිගටම කරගෙන යන ආකාරය ගැන ඔබ අසා ඇති කියලා හිතනවා. ඔවුන් සෑම වසරකම පොත් කොපමණ ප්‍රමාණයක් කියවනවද කියලා දැන ගත්තහම ඔබට පුදුම හිතෙන්නත් ඇති. සමහරවිට ඒ තරම් පොත් කියවන්න ඔවුන් කාලය කොහෙන් හොයාගන්නවද? කියලා ඔබ හිතන්නත් ඇති. එහෙත් , ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම්, ඔබ එය කෙසේ හෝ කළ යුතුයි. ඒ සඳහා වෙලාව සකසා ගත යුතුයි.  ඔබ ද  ඔවුන්ගේ අඩිපාරේ යන්න. විවිධ විෂයයන් පිළිබඳව කියවන්න. පුළුල් ,පැතිරුණු දැනුමක් රැස්කර ගන්න. ඔබ නොදන්නා අංශ පිළිබඳව කියවීම, ලෝකයේ  විවිධ හැකියාවන් පිළිබඳව ඔබේ ඇස් ඇරීමට උපකාරී වෙනවා . එමඟින් අන් අය පවසන සහ සිතන දේ ඔබට පෙනෙනු ඇත. එක්  ප්‍රසිද්ධ පුද්ගලයකුගේ චරිතාපදානයකින්  වුවද අපට බොහෝ දේ ඉගෙන ගන්නට පුළුවන්. එය අපේ සිතීමේ පරාසය පුළුල් කරනවා. ඉන් අලුත් දෙයක්  ඉගෙන ගැනීමට ඔබ තුල උනන්දුවක් ඇති කරන්නත් ඉඩ තිබෙනවා. ඒ හරහා ඔබ ඊළඟට  ඉගෙන ගත යුතු ප්‍රදේශ පිළිබඳව මඟපෙන්වීමක් ලබාගන්නත් පුළුවන්.

 

ඇත්ත වශයෙන්ම ඔබ නිකම්ම නිකං මොනවහරි කියෙව්වා කියලා ඉන් සම්පුර්ණ ඉගෙනීමක් සිදු වෙන්නේ නැහැ. ඉගෙනීම හොඳින් සිදුවෙන්න ඉගෙන ගැනීම සඳහා ඔබ තුල පුදුම උනන්දුවක් තියෙන්න ඕනේ. ඉතින් ඔබ ඉගෙන ගන්න යන දේ ඔබ ස්වාභාවිකවම උනන්දුවක් දක්වන දෙයක් නම්  ඒ ගැන ඔබට ඉගෙන ගන්න එක හරිම පහසු වෙනවා. අපි මෙහෙම උදාහරණයක් ගමු. ඔන්න ඔබ අලෙවි ක්ෂේත්‍රයේ රැකියාවක් කරන කෙනෙක්. ඔබ පාසැලේදී අලෙවිකරණ න්‍යායයන්  ගැන ඉගෙන ගෙන තියෙනවා කියලා හිතන්න. ඒ වගේම ඔබ ඒ දැනුම දැන් යොදාගෙන ඔබේ  රැකියාවෙහි යම් ප්‍රතිලාභයක් ලබා ගනිමින් ඉන්නවා. හැබැයි ඔබ තුල තවදුරටත් ඉගෙන ගැනීමේ කැමැත්ත / පෙළඹවීම තියෙනවා නම් ඔබ පාසලේදී ඉගෙන ගත්ත දෙය අද දවසට ප්‍රමාණවත් නොවන බව තීරණය කරලා අලුත් දේ ඉගෙන ගන්න යොමු වෙනවා. හොඳයි මොනවද එහෙම ඉගෙන ගන්න පුළුවන් අලුත් දේවල්. උදාහරණයක් ලෙස “සමාජ මාධ්‍යය අලෙවිකරණය” ගැන.

 

මෙම නව ප්‍රදේශය ගැන උනන්දුව ඇති වීම නිසා දැන් ඔබ ඒ ගැන වැඩිදුර දැන ගැනීමට කාලය වෙන් කරනවා. වැඩි වැඩියෙන් ඒවා ගැන කියවනවා. එහෙම කරගෙන යනවිට එම විෂය පිළිබඳව ඔබේ දැනුම හා විශ්වාසය ඉහළ යනවා. එවිට ඔබට එය ඔබේ කාර්යාලයේදී, ඔබ කරන කටයුතුවලදී යොදාගන්න හැකියාව ලැබෙනවා.  මෙය ඔබ ඔබේ ජීවිත කාලය පුරාම ඉගෙනීමේ කුසලතාව  ප්‍රායෝගික ලෝකයට අදාල කර ගැනීම සහ ඔබ ඉගෙන ගත් දෙයින් ප්‍රයෝජන ගැනීමයි. අළුත් දෙයක් ඉගෙන ගැනීම විනෝදජනක වන අතර, එය බොහෝ විට දුරදිග යන ප්‍රතිලාභ ඔබට  ලබා දෙනු ඇත.

 

ජීවිත කාලය පුරාම ඉගෙනීමේ අංග / ස්වයං දිශානතියක් ඇතිකරගැනීමේ පැතිකඩ.

 

■          කුතුහලයෙන් සිටින්න. අපට අලුත් දේවල් ඉගෙන ගැනීමට අවශ්‍ය නම් අපේ ලෝකය ගැන කුතුහලයෙන් සිටීම වැදගත්.

 

■          ස්වයං අභිප්‍රේරණයෙන් සිටින්න. එය පහසු නැත, නමුත් ස්වයං අභිප්‍රේරණය යනු නව දෙයක් ඉගෙන ගැනීමේ ඔබේ සැලසුමට ඇලී සිටින බවට වග බලා ගැනීම සඳහා හොඳම ක්‍රමයයි. එය නිපුණතාවයක්, භාෂාවක් හෝ විෂයයක් ඉගෙන ගැනීම වෙන්න පුළුවන්.

 

■          පුළුල් ලෙස කියවන්න. ජීවිත කාලය පුරාම ඉගෙනීම ඉතා පහසු කරවන බොහෝ සම්පත් අද අපට තියෙනවා. ඔබ සිතන ඕනෑම  මාතෘකාවක් සඳහා පොත් සහ ලිපි සිය දහස් ගණනක් ඔබට සොයාගන්න පුළුවන්. ඔබ තෝරාගත් විෂය ගැන  පුළුල් ලෙස අධ්‍යයනය  කරන්න. කිසි වෙලාවක ඔබේ කියවීම, ඉගෙනීම එක් මාදිලියකට පමණක් සීමා කරන්න එපා.

 

■          ජීවිත කාලය පුරාම ඉගෙනීම සඳහා ඔබේ අවශ්‍යතාවය හෝ ඉලක්කය අමතක කරන්න එපා. එය විනෝදය සඳහා ද, රැකියාවක් සඳහා ද නැතහොත් වෙනත් සුදුසුකමක් ලබා ගැනීමට ද? ඔබ එය කරන්නේ ඇයි ද?, යන්න තේරුම් ගැනීම, ඔබේ අරමුණ පැහැදිලි කරගැනීමට, ඔබට ඉදිරියට යාමට උපකාරී වේවි.

 

■          ඔබ ඉගෙන ගන්නා දේ අන් අය සමඟ සාකච්ඡා කර බෙදා ගන්න. තොරතුරු වඩා හොඳින් තේරුම් ගැනීමට සහ රඳවා ගැනීමට මෙය ඔබට උපකාරී වෙනවා.

 

ඔබ ඉගෙන ගත් දෙයට ඔබේ ජීවිතය තීරණය කිරීමට ඉඩ නොදෙන්න. ඔබේ ජීවිතය ගෙන යා යුතු තැනට රැගෙන යාමට අවශ්‍ය දෙය ඉගෙනීමට තීරණය කරන්න. ඔබට ලෝකයට සම්බන්ධ වීමට හැකි වන පරිදි නව ක්ෂේත්‍ර ගවේෂණය කිරීම දිගටම කරගෙන යන්න.

You may also like

Leave a comment