තාක්ෂණ සාක්ෂරතාවය

Technology Literacy

 

ඔබේ ලෝකය වේගවත් කරන තාක්ෂණ සාක්ෂරතාවය

 

දිනෙන් දින වේගයෙන් වර්ධනය වෙමින් පවතින හා වෙනස් වන ව්‍යාපාර කේන්ද්‍රීය ලෝකයක, ඉදිරියෙන් සිටීම සමහර විට දුෂ්කර වේ. අපි දැනගත යුතු සමහර දේවල් අපි නොදන්නවා වෙන්න පුළුවන්. නමුත් තාක්ෂණය සමඟ ඉදිරියට යාම දැන් පහසු වී ඇත.

 

තාක්ෂණ සාක්ෂරතාවය යනු කුමක්ද?

 

තාක්ෂණ සාක්ෂරතාවය කියන්නේ  ඔබේ ඉලක්කය සම්පූර්ණ කරගැනීම සඳහා පවත්නා තාක්ෂණය යොදාගැනීම සඳහා ඔබට ඇති හැකියාව. තොරතුරු වෙත ප්‍රවේශ වීමට සහ විශ්ලේෂණය කිරීමට, ඔබේ දැනුම  බෙදාගැනීමට සහ අලුත් දේවල් නිර්මාණය කිරීම සඳහා  ඔබට තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්.

 

තාක්ෂණික සාක්ෂරතාව ඇතිකරගන්නේ කෙසේද?

 

තාක්ෂණය කියන්නේ  සෑම කෙනෙකුටම  ජීවිතය පහසු කරගැනීම  සඳහා භාවිතා කරන්න පුළුවන් ඉතාම  නම්‍යශීලී හා ප්‍රයෝජනවත් මෙවලමක්. ඩිජිටල් හා තොරතුරු යුගයක ජීවත් වන අපට, තාක්ෂණ කියන්නේ අලුත් දේවල් ඉගෙන ගන්නත්, කටයුතු වඩා හොඳින් කරන්නත් උපකාරී වන දෙයක්. මේ යුගයේ ජීවත් වන අපි මේ පවතින තාක්ෂණය හසුරවන්න, ඒකෙන් ප්‍රයෝජන ගන්න ඉගෙන ගන්නම ඕනේ.

තාක්ෂණය කාර්යක්ෂමයි, ඒ වගේම  වේගවත් . ඒ හරහා අපට  තොරතුරු සෙවීම සඳහා ගතකරන කාලය හුඟක් අඩුකර ගන්න පුළුවන්.  එක් මාතෘකාවක් පිළිබඳ යම් තොරතුරක් සොයමින් ඔබට පුස්තකාලයක පැය ගණනක් ගත කිරීමට සිදු වූ වේලාවක් මතක් කරගන්න. එම තොරතුර අපිට තත්පර කිහිපයක් තුල අන්තර්ජාලයෙන් සොයාගන්න පුළුවන්. ඔබ දැනගත යුත්තේ තොරතුර සොයා ගැනීම සඳහා බැලිය යුතු තැන හා සරල සෙවීමේ සිට උසස් සෙවීමක් සඳහා අන්තර්ජාල සෙවුම් යෙදවුම්  හසුරුවන ආකාරයත් පමණයි.

ඔබ තාක්ෂණිකව සාක්ෂරතාවයෙන් යුතුය යන්නෙන් අදහස් වන්නේ,  අන්තර්ජාලය හරහා තොරතුරු වෙත ළඟා වීම , ලබා ගැනීම, ගබඩා කිරීම සහ සංවිධානය කරන්නේ කෙසේද කියලා හරියට දන්නවා කියන එක. මෙය නොදැන සිටීම ඇතැම් අවස්ථාවන්හිදී ඔබව සීමා වීමකට හේතු වෙනවා. උදාහරණයක් ලෙස, ඔබට පර්යේෂණ නිබන්ධනයක්  සඳහා භාවිතා කළ හැකි වැදගත් තොරතුරු ප්‍රමාණයක් හමුවුණා කියලා හිතමු. දැන් ඔබට මේ තොරතුරු පසුව අවශ්‍ය වේලාවකදි ප්‍රයෝජනයට ගන්න ඔබේ පරිගණකයේ  තියාගන්න ඕන. එය වඩා නිවැරදිව ගබඩා කරන්නේ කෙසේද? ආපසු එය අවශ්‍ය වුණහම පහසුවෙන් එය සොයාගන්නේ කෙසේද? ඔබේ පරිගණක දත්ත ගබඩාව පිළිවෙලයිද? අවශ්‍ය අවස්ථාවක තාක්ෂණය පාවිච්චි කරමින් ක්ෂණිකව ඔබ ගබඩා කළ තොරතුරු සොයාගත හැකිද? ඔබ දත්ත තොරතුරු නිවැරදිව ගබඩා කිරීම හරහා අවශ්‍ය අවස්ථාවක තත්පර කිහිපයක් තුල තාක්ෂණය හරහා එය සොයා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා.

ඔබ තාක්ෂණිකව සාක්ෂරතාවයෙන් යුතු වීම මඟින් ඔබට තීරණ ගැනීමේදී ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් තීරණ ගැනීම වඩාත් පහසු කරගන්න පුළුවන් වෙනවා. ඔබට තොරතුරු රාශියකට ප්‍රවේශ වීමට හැකියාව ඇති අතර ඔබ ගැඹුරු පර්යේෂණයක් කරන්නේ නම් එයට වඩාත් අවශ්‍ය තොරතුරු විශ්ලේෂණාත්මකව තෝරාගන්න ඔබට මේ නිසා පුළුවන්. ඒ වගේම  තමාගේ කැමැත්ත හා තමාගේ විෂයට අදාල පරිදි අවශ්‍ය තොරතුරු ලබාගන්නත්, මේ නිසා ඔබට පුළුවන්කම ලැබෙනවා. මේ නිසා සාමාන්‍ය ජනතාවට වුණත් දේශපාලනය හා ආයතන ගැන හොඳ දැනුමක් ලබාගන්නටත් ඒ හරහා එම ක්‍රියාවලියට සම්බන්ධ වන්නටත් අවසථාවක් ලැබෙනවා. ඒ නිසා මෙය දිගු කාලීනව හැම කෙනෙකුටම ප්‍රයෝජනවත්. ඒ වගේම යහපත් තත්වයක් උදා කරනවා.

 

තාක්ෂණ සාක්ෂරතාවයේ මූලිකාංග

 

■          තොරතුරු ලබාගත හැකි ප්‍රභවයන් හඳුනාගන්න. ඒවායේ විශ්වාසනීයත්වය තක්සේරු කරගන්න.

■          ඔබේ තොරතුරු තවත් තොරතුරු ප්‍රභවයන් සමඟ සසඳා බැලීමක් කරන්න. තොරතුරු ලබාගත් ස්ථානය පිළිබඳ සටහනක් තබාගන්න.

■          තොරතුරු සෙවීමේදී ඔබට භාවිතා කළ හැකි සියලු තාක්ෂණික ක්‍රම  ඉගෙන ගන්න.

■          බොහෝ ආයතන හා පුද්ගලයින් යොදාගන්නා ජනප්‍රිය යෙදුම් ගැන හොඳ හුරුවක් ඇතිකර ගන්න. ඒවා නිතර නිතර භාවිතයට යොමුවීම මඟින් එම යෙදවුම්  භාවිතය පිළිබඳ හැකියාව වැඩිකර ගන්න පුළුවන්.

■          ඔබේ වැඩ පහසුවෙන් සහ වේගවත්ව  කිරීමට උපකාරී වන නිසා, නිතරම නව තාක්ෂණයත් සමඟ කටයුතු කරන්න.

■          හැකි සෑම අවස්ථාවකදීම තාක්ෂණය භාවිතා කරන්න. එය භාවිතා කර ඔබේ තොරතුරු වඩාත් ආකර්ෂණීය ආකාරයකින් ඉදිරිපත් කරන්න.

 

අප තාක්ෂණිකව සාක්ෂරතාවයෙන් සිටීම, අන්තර්ජාලය හරහා බොහෝ තොරතුරු ලබා ගත හැකි වර්තමාන ලෝකයේ විශාල සම්පතක් වගේම පහසුවක්. පවතින තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීම සඳහා හුරු වීම අපගේ වගකීමක්.

 

You may also like

Leave a comment