තොරතුරු සාක්ෂරතාවය

Information Literacy

 

ලෝකය සමඟ නිවැරදිව සම්බන්ධ වන්න “තොරතුරු සාක්ෂරතාවය” ඇතිකර ගන්න.

 

ඔබට අර්ථවත් ගැළපෙන විනෝදාංශයක් තෝරාගන්න , අන්තර්ජාල ව්‍යාපාරයක් පටන්ගන්න, එහෙමත් නැතිනම් රසවත් කෑමක් හදාගන්න, ඉහුම්පිහුම් වට්ටෝරුවක් සොයාගන්න, මේ ආදී වශයෙන් ඔබට අවශ්‍ය දෙයක් පිළිබඳ හොඳම තොරතුරු ඔබට පහසුවෙන් ලබාගත හැකි තැනක් ගැන ඔබ දැනුවත්ද? ඔබට අවශ්‍ය දේ සොයාගත හැකි විශ්වාසදායක වෙබ් අඩවි කිහිපයක් ඔබ සතුව තියෙනවද?

 

තොරතුරු සාක්ෂරතාවය යනු කුමක්ද?

 

තොරතුරු සාක්ෂරතාවය කියන්නේ අපිට යම් දෙයක් කිරීමට අවශ්‍ය වු විටක, ඒ දෙය සම්බන්ධයෙන් අවශ්‍ය  තොරතුරු හෝ දත්ත සොයා ගැනීමේ හැකියාව, එම තොරතුරු ඇගයීම, සංවිධානය කිරීම සහ අපේ අවශ්‍යතාවය වෙනුවෙන් ඒවා ඵලදායී ලෙස භාවිතා කිරීමේ හැකියාවයි. එය, ඔබට කිරීමට ඇති දෙයක් /කටයුත්තක්, තීරණ ගැනීමක්, ගැටලු විසඳීමක්  හෝ ව්‍යාපාර හෝ පෞද්ගලික අවශ්‍යතා සඳහා දැනුම ලබා ගැනීමක්  වගේ දෙයක් වෙන්න පුළුවන්.

 

තොරතුරු සාක්ෂරතාවයෙන් කටයුතු කරන්නේ කෙසේද?

 

අපිට තොරතුරු ලැබෙන්නේ දත්ත, ලිපි, පොත්, පුවත්පත්, විකාශන මාධ්‍යය හා ඩිජිටල් සංඥා පුවරු වැනි විවිධ ආකාරයේ මාධ්‍යය වලිනි. ගෝලීය ප්‍රවණතා සමඟ නවීන තොරතුරු අපට ලැබෙන මාර්ග ලෙස  රූප, ප්‍රස්තාර සටහන්, කෙටි චිත්‍රපට, සමාජ මාධ්‍යය පළ කිරීම් (FB Post) සහ වෙබ් අඩවි දක්වන්න පුළුවන්. පොත්, පුවත්පත් සහ විකාශන මාධ්‍යය තවමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. නමුත් ඔවුන් නව මාධ්‍යවලට වඩා යම් නිශ්චිත ප්‍රේක්ෂක කණ්ඩායමක් ආමන්ත්‍රණය කරනවා.

ඔබට තොරතුරු සාක්ෂරතාවයට පත්වීමට අවශ්‍ය නම්, ඔබට තොරතුරු සෙවීමේ හා ලබාගන්නා  තොරතුරු හොඳින් විශ්ලේෂණය  කිරීමේ හැකියාව නමැති කුසලතාවය  වැඩි වර්ධනයක් කරගන්න වෙනවා. උදාහරණයක් ලෙස ඔබ අන්තර්ජාලයෙන් තොරතුරු සොයන විට, එක්වරම විශාල තොරතුරු ප්‍රමාණයක් ඔබේ තිරය මත දිස්වෙනවා. දැන් මේ තොරතුරු අතරින් ඔබට වඩා නිවැරදි හා විශ්වාසවන්ත තොරතුරු සොයාගන්න නම් ඉහත සඳහන් කළ කුසලතා ඔබ ගාව තියෙන්න ඕනේ. ඔබේ තිරය මත දිස්වෙන සියලු තොරතුරු සැමවිටම  සත්‍ය හා නිවැරදි ඒවා නොවෙන්න පුළුවන්. ඒ වගේම ඔබට කාලය සමඟ සටනක් තියෙනවා. සීමිත කාලයක් තුලදී ඔබට මේ තොරතුරු අතර කිමිදෙන්නත් වෙනවා. එය ඵලදායීව කරන්නත් ඕනේ. තොරතුරු සෙවීමේදී ඔබේ විවේචනාත්මක(විචාරශීලී) චින්තනය ඉතාම වැදගත්. ඒ ඔබ ලබාගන්නා තොරතුරු හොඳින් විශ්ලේෂණය කරගැනීම සඳහා. ඔබ එම තොරතුරු ලබාගත්තේ කොතනින්ද? ඔවුන්ගේ සැඟවුණ අරමුණක් වේද? එසේනම් එය කුමක් විය හැකිද? එය ප්‍රචාරණාත්මක අරමුණක් ඇතිව පළකරන ලද්දක්ද? ඔබව වංචනිකව රැවටීමට ගනු ලබන උත්සාහයක්ද? මේ පිළිබඳව සිතන්න ඔබේ විචාරාත්මක චින්තනමය කුසලතාවය පාවිච්චියට ගන්න.

අපි අමතක කරන්න හොඳ නැහැ, මිනිස්සු විදියට අපි හැමෝගෙම පුද්ගලික, ස්වභාවික කැමති අකමැති දේවල් තියෙන බව. ඉතින් අපි යම් දෙයක් ලියද්දී අපිත් නොදැනුවත්වම එම නැඹුරුතාවයන් ලිඛිතව එළියට එන්න පුළුවන්.

කතුවරයාගේ නැඹුරුව හඳුනා ගැනීම, කතුවරයා පවසන දේ මෙන්ම ඔහු එය පවසන්නේ ඇයිද යන්න තේරුම් ගැනීමට ඔබට උපකාරී වේවි . එම අවබෝධය ඔබට ඇතිවිට තොරතුරු ලබාගැනීමේ ප්‍රභවය පිළිබඳව  ඔබට ස්වාධීනව වඩා හොඳ තීරණ ගන්න පුළුවන්.

තොරතුරු සාක්ෂරතාවයෙන් සිටීම තොරතුරු ගවේෂණයේදී (සෙවීමේදී) පමණක් නෙවෙයි, නිවසක් මිලට ගැනීමේ සිට රැකියාවක් තෝරාගැනීමේදී  සිට රැකියාවෙහි විශිෂ්ටත්වය දක්වා ඔබේ ජීවිතයේ සෑම අංශයකම තේරීම් කිරීමට එය උපකාරී වේ. ඒවගේම ඔබේ යහළුවෙකුට උදව් කරන්නත් ඒ හරහා පුළුවන්.

 

තොරතුරු සාක්ෂරතාවයේ පැතිකඩ

 

  • ගැටලුව විසඳීම සඳහා ඔබට අවශ්‍ය තොරතුරු මොනවා දැයි තේරුම් ගන්න.

 

  • ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගත යුත්තේ කොතැනින් දැයි දැන ගන්න.

 

  • ඔබ තොරතුරු ලබාගන්නා ප්‍රභවයන් ගැන සැලකිලිමත් වන්න.

 

  • ඔබේ පර්යේෂණය ගැන හොඳින් දැනගන්න.

 

  • වෙනත් පිළිගත් වෙබ් අඩවි හෝ ප්‍රභවයන්ට එරෙහිව ඔබට ලැබී ඇති තොරතුරු වල නිවැරදිභාවයන් යළි වීමසා බලන්න.

 

  • එක් තොරතුරු මාධ්‍යයක් මත පමණක් රැඳී නොසිට, බහු ප්‍රභවයන්ගෙන් තොරතුරු ලබාගන්න. ඔබ මෙතෙක් භාවිතයට නොගත්, තවත් බොහෝ තොරතුරු ප්‍රභවයන් තුල, වෙනත් ආකෘති වලින් ඔබට අවශ්‍ය තොරතුරු පවතිනවා.

 

  • ඔබේ ක්ෂේත්‍රයට අදාල පිළිගත් සඟරා දැනගන්න. ඒ හරහා ඔබට අවශ්‍ය විටෙක සත්‍ය හා නිවැරදි / විද්‍යාත්මක තොරතුරු ලබාගන්න පුළුවන්.

 

  • ඔබ තොරතුරු ලබාගත් පසු, බොහෝ අවස්ථාවලදී ඔබට එය වෙනත් ආකාරයකින් තවත් අය සමඟ බෙදා ගැනීමට සිදුවෙනවා. එහිදී ඔබ ලබාගත් තොරතුරු වඩාත් ප්‍රබල හා සිත්ගන්නා සුළු ලෙස ඉදිරිපත් කිරීම වැදගත්. ප්‍රස්තාර, රූප සටහන් ආදී ලෙස. නිකමට කියනවා නම්, ඔබට ආහාර වට්ටෝරුවක් ලැබුණොත් පුළුවන් නම් ආහාරය හදලාම අනෙක් අයට රස බලන්න දෙන්න.

 

  • ඔබ වෙනත් අයෙකු විසින් සාදන ලද කිසියම් තොරතුරක් භාවිතා කරන්නේ නම්, ඔබේ කාර්යයේදී ඒ පිළිබඳව සඳහනක් එක් කිරීමට සැමවිටම මතක තබා ගන්න. බුද්ධිමය දේපළ සොරකම් කිරීම පිළිගත නොහැකි අතර, ඕනෑම කර්මාන්තයක හෝ ආයතනයක එය දඬුවම් ලැබීමකට ලක්විය හැකි වරදකි.

 

පවත්නා තාක්ෂණයට අනුගත වීමට හා ඉන් ප්‍රයෝජන අත්කරගත හැකි අකාරය පිළිබඳව ඉගෙන ගන්න ටිකක් කාලය (සමහරවිට මුදල්ද) යොදවන්න. ඉන් ඔබට බොහොම හොඳ ප්‍රතිලාභ අත්කරගන්න පුළුවන්. එය ඔබේ ජීවීතයේ සාර්ථකත්වයටත් හේතු වෙනවා.

You may also like

Leave a comment