නායකත්වය

Leadership

 

ඔබ ස්වාභාවික නායකයෙක්ද, ඔබට තියෙන ගෞරවය නිසා මිනිසුන් ඔබේ නියෝග පිළිපදිනවද? ඔවුන් ඔබගේ උපදෙස් පිළිපදින්නේ කුමන හේතුවක්  නිසාද? ඔබට ඔබ වටා සිටින පුද්ගලයන් ඉහළ මට්ටමක් කරා මෙහෙයවිය හැකිද? ඔවුන්ගේ ප්‍රශ්න වලින් ඔවුන්ව  මුදවා ගන්න ඔබට  පුළුවන්ද?  ඕනෑම සමාජයක, නායකයා වැදගත් වේ, ඒ අප සැමට නිතර නිතර යම් මඟ පෙන්වීමක් අවශ්‍ය වන නිසා.

 

නායකත්වය යනු කුමක්ද?

 

නායකත්වය කියන්නේ, ඉලක්කයක් සපුරා ගැනීම සඳහා, ඵලදායී සන්නිවේදනය, අධීක්ෂණය සහ දිරිමත් කිරීම හරහා සීමිත හා පවත්නා මානව සම්පත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ හැකියාවයි.

 

නායකයෙකු වන්නේ කෙසේද?

 

නායකයෙකු වීම විනෝදජනක විය හැකිය. කණ්ඩායමක් ඔබ සතුව ඉන්නවා. ඔබට ඔවුන්ට කාර්යයන් පවරන්න පුළුවන්. ඔවුන් ඔබගේ උපදෙස් බලාපොරාත්තු වෙනවා. ඒ වගේම නායකත්වය කියන්නේ විශාල වගකීමක්. එය සැහැල්ලුවට ගන්න හොඳ නැහැ. හොඳ නායකයෙක් දන්නවා කණ්ඩායමේ සුභසාධනය නායකයා අත ඇති බව.  ඒ වගේම කණ්ඩායම තුල පවතින විවිධත්වයට  සැබවින්ම ගරු කළයුතු බව. ඔබ කණ්ඩායම් නායකයා නම්, කණ්ඩායම එකමුතුව තබාගැනීම සඳහා ඔබ කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ඔවුන්ට භාර දී ඇති කටයුතු කලට වේලාවට නිම  කරන බවට ඔබ වග බලාගන්නත් ඕන. ඔවුන්ගෙන් ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද කියලා,  ඔවුන්ට ඔබ පැහැදිලිවම කියන්න ඕන . ඒ වගේම ඔවුන්ගේ සතුට හා අවශ්‍යතා පිළිබඳවත් ඔබට සැලකිලිමත් වෙන්න වෙනවා.

ඒ වගේම ඔබ ඔවුන් සමඟ එක්ව  වැඩ කරන බවත් , ඔබ සිටින්නේ ඔවුන් සමඟ ගැටුම් ඇති කර ගැනීමට නොවන බවත් ඔවුන්ට තහවුරු වීම වැදගත්. ඔවුන් සමඟ කාලය ගත කිරීමටත්, ඔවුන්ව දැන හඳුනා ගැනීමටත්, ඔවුන් සමඟ සුහදතාවයන් ගොඩනඟා ගැනීමටත්,  ඒ වගේම ඔවුන්ට  එකිනෙකා සමඟ හොඳ සම්බන්ධතාවන් ගොඩනඟා ගැනීමට සහාය වීමත්  ඔබ අතින් සිදුවිය යුතුයි. ඔවුන්ට යම් ගැටලුවක් පැන නැගුන විට ඒවා ඔබ සමඟ කතාබහ කරන්න, විසඳගන්න ඉඩකඩ ද ඔබ ඔවුන්ට ලබාදෙන්න ඕන.

 

නායකත්ව ගුණාංග

 

■          හොඳ නායකයෙකු වීමට සන්නිවේදනය ඉතා වැදගත්. සමහරවිට ඔබට ප්‍රධානීන් හමුවෙලා ඇති, කණ්ඩායම සමඟ හොඳින් සන්නිවේදනය නොකරන. ඉතින් එයාල තමාගේ කණ්ඩායමෙන් මොනවද අපේක්ෂා කරන්නේ කියලා හරියට කියන්නේ නැහැ. ඒ වුණාට ඔවුන් අපේක්ෂා කරන දේවල් කණ්ඩායම කරලා දෙන්න ඕනේ කියලා ඒ ප්‍රධානීන්  හිතනවා. අවශ්‍ය දෙය නොකියා කොහොමද කරන්නේ?. කණ්ඩායම් නායකයෙකු වීමට මෙය හොඳ ක්‍රමයක්  නොවේ, මන්ද සන්නිවේදනය නොකිරීම මඟින්  ඔබ අන් අයව අඳුරේ තබනවා. ඔබ ඔබේ කණ්ඩායම සමඟ වාඩි වී, නිම කිරීමට ඇති ව්‍යාපෘති(කටයුතු) මොනවාද ,  ඔබ ඔවුන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? කුමන කුමන කටයුතු කවුරුන් විසින් ඉටුකළ යුතුද ? ආදී ලෙස වැඩ බෙදාගැනීම හා පැහැදිලි කරගැනීම සුදුසුයි.

 

■          නිරන්තරයෙන් ඔබේ ක්‍රියාකාරී  කණ්ඩායම හමුවීම, ඔවුන් සමඟ නිතර සබඳතාවයන්  තබාගැනීම වඩා සුදුසුයි. එවිට කණ්ඩායමට ඔවුන් මුහුණ දෙන ගැටලු මතුකර ඒවාට විසඳුම් සොයාගැනීමටත්, මේ දක්වා කර ඇති හා නිම කර ඇති කටයුතු ගැන අනෙක් අයව දැනුවත් කරන්නත් පුළුවන්.

 

■          සන්නිවේදනයකින් තොරව ඉදිරියට ඇදෙන කණ්ඩායමක් අවසානයේ අසාර්ථකත්වයට පත්වෙනවා. හොඳ නායකයෙක් සිය කණ්ඩායම සමඟ එකට සිටින බවටත්, ඕනෑම ගැටලුවක් හැකි ඉක්මනින් විසඳා ගන්නා බවටත්, ජයග්‍රහණ අත්කරගන්නා බවටත් වගබලා ගන්නවා.

 

■          නායකයා තමා සමඟ වැඩ කරන්නන් සමඟ අවංක වෙන්න ඕනේ. ඔහු ඔහුගේ වැඩ සම්බන්ධයෙන්, කණ්ඩායම සම්බන්ධයෙන්, ආයතනය සම්බන්ධයෙන්  අවංක නොවන විට කණ්ඩායමේ අය තුල  ඔහු කෙරෙහි ඇති ගරුත්වය නැති වෙනවා . ඔහුට කණ්ඩායමේ ගෞරවය අහිමි වීම,  සමහර අවස්ථා වලදී ව්‍යාපෘතිය අසාර්ථක වීමට හේතු විය හැකියි.

 

■          ඵලදායී කණ්ඩායමක් පවත්වාගෙන යාමේ වගකීම නායකයෙකුට තියෙනවා. ඒ නිසා නායකයෙකුට විශාල පිරිසක් සමඟ  සම්බන්ධතා ගොඩනැඟීමේ කුසලතාව  තිබිය යුතුයි. කණ්ඩායම හොඳින් ක්‍රියාත්මක වෙන්නේ   නැත්නම්  හෝ නායකයා ඔවුන් ගැන සැලකිල්ලක් දක්වන්නේ නැත්නම් , ඔවුන් හොඳින් වැඩ කරන්නේ නැහැ. නායකයාට සියළුම කණ්ඩායම් සාමාජිකයන් සමඟ සුහද සම්බන්ධතාවයක් තිබිය යුතුයි. මෙය චිත්ත ධෛර්යය ඉහළ නංවන අතර, කණ්ඩායම එකට එක් කිරීමට ද උපකාරී වෙනවා.

 

■          කණ්ඩායම් නායකයා තුල සංවේදී බව, ගෞරවය සහ ඉවසීම තිබීම වැදගත්. වැඩ පරිසරය තුල කටයුතු අධික බව නිසා, කේන්ති යාම, නොරිස්සුම්භාවයන් ඇති වීම් සිදුවන්න පුළුවන්. ගැටුමක් ඇති නොවන අකාරයෙන් හා සිත් රිදීම් නොවන ලෙස තත්වයන් පාලනය කිරීමේ වගකීම නායකයා සතුයි.

 

■          නායකයා කණ්ඩායමේ  අභිප්‍රේරණය(උනන්දුව) පවත්වා ගැනීම සඳහා (ධනාත්මක) ප්‍රතිපෝෂණ ලබා දිය යුතුයි. ඒ කියන්නේ අගය කිරීම, පැසසීම වැනි දේවල්. වරදක් වුණත් එය නිවැරදි කරන්න ඕනේ හිත් නොරිදෙන ලෙස. එවන් ධනාත්මක නිවැරදි  කිරීම් හා ප්‍රතිචාර,  කණ්ඩායම නිවැරදි මාවතේ  යැවීමටත්,  ඔවුන්ගේ ඵලදායීතාවය වැඩි කිරීමටත් හේතු වෙනවා .

 

■          නායකයා ද නම්‍යශීලී අයෙකු වෙන්න ඕනේ. හැම  දෙයක්ම සැලැස්මට අනුව සිදු නොවන අවස්ථා පවතින්න පුළුවන්. ඒ පිළිබඳව මනසින් සුදානම්ව සිටීම, එවන් අවස්ථාවල නම්‍යශීලී  වීම, ඒ සඳහා පූර්ව සුදානමක් ඇතිව කටයුතු කිරීම හා එවන් අවස්ථාවක කණ්ඩායමට අවම පීඩනයක් එන ලෙස එය කළමනාකරණය කිරීම වැදගත්.

 

ශ්‍රේෂ්ඨ නායකයෙක් යනු; පොදු අරමුණක් සඳහා මිනිසුන් එක් රැස් කළ හැකි අයෙකු වන අතර ඔවුන්ද (කණ්ඩායමේ සාමාජිකයින්)  කණ්ඩායමේ වටිනා කොටසක් යැයි යන  හැඟීම ඔවුන්ට ද  ඇතිවන ලෙස කටයුතු කරන්නෙකි.

 

You may also like

Leave a comment