නිර්මාණශීලීත්ව කුසලතාවය

Creativity

 

තියෙන දේ දෙස වෙනස් විදියකින් දකින නිර්මාණශීලීත්ව කුසලතාවය”.

 

ඔබ මොනවා හරි නිර්මාණාත්මක දෙයක් කරලා තියෙනවද ? කවියක් ,  නවකතාවක් ලියනවා වගේ?  එහෙමත් නැතිනම්  සංගීත භාණ්ඩයක්  වාදනය කිරීම, ගීතයක් ලිවීම හෝ චිත්‍ර ඇඳීම? ඔබේ ජීවිතයේ, ඔබ මුහුණ දුන් ගැටලුවක් ඔබ නිර්මාණාත්මකව විසඳාගෙන තියෙනවද ? එහෙමත් නැත්නම් යාළුවෙකුගේ ප්‍රශ්නයකදී , එයාට හිතාගන්නවත් බැරි වෙනස්ම අකාරයකින් එම ප්‍රශ්නය විසඳාගන්න උදව් කරලා තියෙනවද? ඔබ එහෙම කෙනෙක් වෙන්න කැමතියි නේද? ඔබ නිර්මාණශීලී අයෙක් වෙන්න කැමතිනම් නිර්මාණශීලීත්වය ඔබ තුලම තිබෙන බව අමතක කරන්න එපා . එළියට ගන්න එක පමණයි කරන්න තියෙන්නේ.

 

කුමක්ද මේ නිර්මාණශීලිත්වය?

 

නිර්මාණශීලිත්වය යන්නෙන් අදහස් කරන්නේ,  අපගේ පරිකල්පනය හෝ සිතුවිලි අලුත්ම අකාරයකින් බැහැරට ප්‍රකාශ කිරීම. එහෙමත් නැත්නම් ඉදිරිපත් කිරීම කියන්නත් පුළුවන්. නිර්මාණශීලීත්වය නිර්වචනය කිරීම එතරම් ලෙහෙසි නැහැ. කොහොම වුණත් කලා කෘතියක සිට නිර්මාණාත්මකව ගැටලුවක් විසඳීම දක්වා ඕනෑම දෙයක් එයට ඇතුළත් කරන්න පුළුවන්.

 

නිර්මාණශීලී වන්නේ කෙසේද?

 

අප සියල්ලන්ම ඇතුළතින් නිර්මාණශීලීයි. එහෙම වුණත් අපි බොහෝ දෙනෙක් සිතන්නේ අපි නිර්මාණශීලී නැහැ කියලා. නිර්මාණශීලිත්වය කියන්නේ  සංගීතය, කලාකෘති නිර්මාණය කිරීම,පොත් ලිවීම වගේ දේවල් පමණක්ය කියන එකයි අපි බොහෝ දෙනෙකුගේ අදහස. පවතින යම් ගැටලුවකට විසඳුමක් නිර්මාණය කිරීමත්, නිර්මාණශීලීත්වයම තමයි. විශ්වාසයෙන් යුතුව, ලෝකය නිරීක්ෂණය කිරීමෙන්, ඒ ගැන ප්‍රශ්න ඇසීමෙන් සහ නොදන්නා දෙයක් අන් අයගෙන් අසා ඉගෙන ගැනීමට තරම් නිහතමානී වීමෙන් ඔබට නිර්මාණශීලී අයෙක් බවට පත්වන්න පුළුවන්. අප සෑම  විටම සියල්ලම දන්නේ නැහැ. එමෙන්ම අප හැම දෙයකටම දක්ෂ වන්නේත්  නැහැ. නොදන්නා දෙය දන්නා කෙනෙකුගෙන් අසා ඉගෙන ගන්න අපි නිහතමානී වෙන්න ඕනේ.

ඔබේ ප්‍රශ්නවලට ඔබම පිළිතුරු සෙවීමේ කුතුහලය හා උනන්දුව ඔබව නව්‍යකරණයට හා නිර්මාණශීලී වීම කෙරෙහි යොමු කරනවා. ඔබ දකින ගැටලු විසඳීමට යොමු වීම විනෝදජනක දෙයක් බවට පත්කරගන්න. එම ගැටලුව විසඳීමෙන්  අත්කරගන්නා ප්‍රතිඵල දැකලා සතුටු වෙන්න පුරුදු වෙන්න.  ඔබට ඔබ ගැන සතුටු  විය හැකි බොහෝ දේ ඔබ අතින් නිර්මාණය වන බව, ඔබට ඉක්මනින් පෙනී යාවි. ඒ වගේම, පවතින දේවල් දෙස  මනසින් අලුත් විදියකට හිතන්න පුරුදු වෙන්න.  එසේ නොකර ඔබට නිර්මාණශීලී වෙන්න බැහැ. නිර්මාණශීලිත්වය සහ නව්‍යකරණය කියන්නේ එකක් නොවේ, දෙකක්. ඒ වුණාට ඒ දෙකම යන්නේ එකට. නව දේවල් බිහි කිරීම “නවෝත්පාදනය”. නිර්මාණශීලිත්වය කියන්නේ  “නව හෝ දකින්නට නැති  දෙයක් සිතීමට අපට ඇති හැකියාව”. නවෝත්පාදන බිහිවෙන්න, නිර්මාණශීලීව සිතීමේ හැකියාව තියෙන්නට ඕනෙ.

 

නිර්මාණශීලීත්වයේ මූලිකාංග:

 

■          ඔබේ නිර්මාණශීලීත්වය ඉහළ නැංවීම සඳහා, පළමුව බුද්ධි කළම්භනයේ යෙදෙන්න. ඔබට නිර්මාණය කිරීමට අවශ්‍ය දේ ගැන ගැඹුරින් සිතා බලන්න. නිතර නිතර ඒ ගැන සිත යොමු කරන්න. විවිධ පැතිකඩ ඔස්සේ බලන්න.එවිට ඔබේ සිතට අලුත් දෙයක් කරන්න නව අදහස් එන්න පටන් ගන්නවා.

■          නව අදහස් ජනනය කර ගැනීමට “ප්‍රශ්න කිරීම” කරන්න පුළුවන්. දක්ෂ  මාධ්‍යවේදීන්  අසන ප්‍රශ්න කිහිපය ඔබටත් මෙහිදී ප්‍රයෝජනයට ගන්න පුළුවන්. කවුද? කුමක්ද ? කවදා ද? කොහේදී ද ? කෙසේද? කුමක් නිසාද ? යන  ප්‍රශ්න ඇසීමෙන් ඔබේ මොළය වැඩ කරන්න පටන් ගන්නවා.

■          ඔබ සාහිත්‍යමය හෝ සංගීතමය දෙයක් නිර්මාණය කරන්න  බලාපොරොත්තු වෙනවා නම්, ඔබේ නිර්මාණශීලී  සිතිවිලි අවදිවන  වේලාවක්  ඒ සඳහා වෙන්කර ගන්න. එම කාලවේලාව එම නිර්මාණශීලී  කටයුතු සඳහා වෙන්කරන්න . මෙය ඔබ  “ලේඛකයාගේ වාරණයට” හසුව ඇත්නම් (කිරීමට ඇති නිර්මාණ කටයුතු අවසන් නොකර කාලය ගෙවා දැමීම) ඉන් මිදීමට උපකාරී වනු ඇත. සමහරුන්ට උදේ පාන්දරින් තමා අලුත් දේවල් සිතෙන්නේ. ඔබේ වේලාව සොයා ගන්න.

■          කලාත්මක නිර්මාණයක්  හෝ ව්‍යාපාර විසඳුමක් නිර්මාණශීලීව සිතනා විටක, බාධාකිරීම් වලින් තොර ස්ථානයක සිට එය කරන්න. එවිට ඒ දෙයට ඔබට  ගැඹුරින් අවධානය යොමු කිරීමට පුළුවන්කම ලැබෙනවා.

■          අවිනිශ්චිතභාවය  හා බිය නිර්මාණශීලීතාවට බාධාවක්. “හරියයි ද දන්නේ නෑ, කට්ටිය හිනා වෙයි ද දන්නේ නෑ” ආදී ලෙස සිතමින් ඔබේ සිත කරදර කරගන්න එපා. “අරමුණ” ජයග්‍රහණය කිරීම කෙරෙහි  අවධානය යොමු කරන්න.

■          ඔබ යමක් නිර්මාණය කළ පසු, එය වැඩිදියුණු කළ හැකිදැයි නැවත නැවත  සිතා බලන්න. ඔබේ  නිර්මාණ  සංස්කරණය  සහ වැඩිදියුණු කිරීම දිගටම කරන්න. ඔබේ වැඩවල විවේචකයා මුලින්ම ඔබම වන්න. අඩුපාඩු ඇති තැන් ඔබම බලන්න. එවිට ඔබට ඒවා නිවැරදි කරගන්න හා වැඩිදියුණු කරගන්න පුළුවන්.

■          විශේෂයෙන් ව්‍යාපාරයේ  හෝ කාර්යාලයේදී කිරීමට ඇති  වැඩ කටයුතු සඳහා  “වැඩ ලැයිස්තුවක්” සහ පරීක්ෂා කරන්න ඇති දෙවල් සඳහා “පිරික්සුම් ලැයිස්තු”  සකසා ගන්න. ඉන් ඔබට කාලය ඉතිරි කරගන්න පුළුවන්.  ඒ වගේම අපි කාර්යබහුල වුණහම, අපේ අතින් නොදැනුවත්වම කුඩා දේවල් අමතක වීම , අතපසු  වීම  සිදු වෙනවා . නමුත් අප අපව සංවිධානාත්මකව තබා ගැනීම මඟින්  සෑම දෙයක්ම පිළිවෙලකට අවසන් කිරීමට හැකියාව අපට ලැබෙනවා. එය හොඳ  පුරුද්දක්.

■          ඔබේ කටයුතු  වඩා හොඳින් හා පහසුවෙන් කරගන්න තාක්ෂණය සහ සම්පත් භාවිතා කරන්න පුරුදු වෙන්න. සමහර විට ඔබේ මිතුරන් ඇති, ඔබට උදව් ලබාගන්න පුළුවන්. ඔබ කරන කටයුත්ත ඔබ කරනවට වඩා පහසුවෙන් කළහැකි  තාක්ෂණික මෙවලම් ඔවුන් දන්නවා වෙන්න පුළුවන්. එයාලගේ සහාය ලබාගන්න.

 

නිර්මාණශීලීත්වය කලාකරුවන්ට පමණක් නොවේ. අපි හැමෝටම, එය අපගේ එදිනෙදා ජීවිතයේදී වැදගත්. ඒ නිර්මාණශීලීව විසඳුම් සොයාගත යුතු ප්‍රශ්න රාශ්‍රියකට අප එදිනෙදා මුහුණදෙන නිසා . මේ නිසා ව්‍යාපාරික ලෝකයේදීත් එදිනෙදා ජීවිතයේදීත්  නිර්මාණශීලී වීම බොහොම වැදගත්.

You may also like

Leave a comment