ඵලදායීතාවය

Productivity

 

ලිපිගොනු, බඩු භාණ්ඩ වලින් ඔබේ මේසය අවුල් වෙලාද? වැඩක් කරන්න ගියහම, කරන්න යන වේලාවට වඩා වැඩි වේලාවක් වැඩේ කරන්න අවශ්‍ය දේවල් ටික සොයාගන්න  ඔබට ගතකරන්න වෙනවද? ඔබේ කටයුතු දැනට වඩා පිළිවෙල හා ඵලදායී කරගැනීමේ ක්‍රම ගැන  ඔබ සිතමින් ඉන්නවද? අපි හැමෝම  ජීවිතයේ විවිධ  කාල වලදී විවිධ පසුබැසීම් වලට ලක්වෙනවා. එහෙම කාල වලදී, කළ හැකි දේවල් ටිකවත් අපේ අතින් කෙරෙන්නේ නැහැ. අපිට අපේ වැඩ කටයුතු වල මීට වඩා  වර්ධනයක් අත්කරගන්න ඕනේ කියලා හිතුනත් ඒක එහෙම කරන එක ලෙහෙසි නැහැ කියලා තමයි අපිට හිතෙන්නේ.  නමුත්, අපේ ජීවිත පිළිවෙලක් කරගෙන  අපගේ ඵලදායීත්වය ඉහළනංවා ගැනීම හැම අතින්ම අපට යහපතක්. අපි ඒක දැන්ම කරන්න ඕනේ. එසේ නොකළොත්, අපි අපේ ජීවිත කාලයේ කිරීමට අපේක්ෂාවෙන් ඉන්න දේවල් අපිට කරගන්න ලැබෙන්නේ නැහැ. හේතුව අපිට ඉතිරිව තිබෙන කාලය ඉතාම සීමිත නිසා.

 

ඵලදායිතාව යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

 

ඵලදායිතාව කියන්නේ ඔබ කෙතරම් කාර්යක්ෂම ද කියන එක. එය ගණනය කරන්නේ ඔබට යම් කටයුත්තක් කර අවසන් කිරීම සඳහා කොපමණ කාලයක් ගතවේ ද යන්න මැනීමෙන්.

 

ඔබේ ඵලදායීත්වය වැඩිකර ගන්නේ කෙසේද?

 

ඵලදායී අයෙක් වන්න ඔබට කළ හැකි බොහෝ දේවල් තිබෙනවා. සමහරවිට ඔබ දැනට වැඩකරන අකාරයේ ලොකු වෙනසක් කරන්න ඕනෙ නැති වෙන්නත් පුළුවන්. අපි කරන පුංචි නිවැරදි වෙනස්කමක් අපේ ඵලදායිතාවයේ විශාල වෙනසක් කරන්න ඉඩ තිබෙනවා.  වැදගත් වන්නේ එය දිගටම කරගෙන යාමයි. කිරීමට ඇති වැඩ සඳහා “වැඩ – ලැයිස්තුවක්” සකසා ගැනීම පුංචි වැඩක්. එත් ඔබේ ජීවිතයට එය පහසුවක් හා පිළිවෙලක් ගෙන එනවා. මෙය ඕනෑම තරාතිරමක කෙනෙක්ට වැදගත්. ඔබට කරන්න හා නිම කරන්න තිබෙන වැඩ කටයුතු මොනවද කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඔබට ඒවා සම්පූර්ණ කරන්න පුළුවන්. ඔබ හිමාලය තරණය කරන්න වගේ දෙයකට සුදානම් වෙනවා නම් හැර, “ඔබේ වැඩ ලැයිස්තුව” විශාල දිගු එකක් වන්න ඕනේ නැහැ.

 

ඔබේ වැඩ ලැයිස්තුව කුඩා හා කළමනාකරණය කළ හැකි කොටස් ලෙස සකසා ගන්න. ඔබ හිමාලය තරණය කරන්න බලාපොරාත්තු වෙනවා නම්, ඒක ඔබේ දිගු කාලීන ඉලක්කයක්. ඔබේ දිනපතා ක්‍රියාකාරකම් ලැයිස්තුවේ එය තබාගන්න අවශ්‍ය නැහැ. දිනපතා වැඩ ලැයිස්තුවේ, ඔබ තබාගන්න  ඕන වෙන්නේ, ඒ අරමුණ ජයග්‍රහණය කිරීම  සඳහා ද අවශ්‍ය කටයුතු කිරීමට කාලයක් වෙන්කර ගැනීම (උදාහරණ ලෙස පැය 1ක් වෙන් කිරීම) හා එම කාලය තුල, ව්‍යායාම කිරීම, විඳ දරාගැනීමට හුරු වීම වැනි අභ්‍යාස  වල නිරතවීම කරන්න ඕනේ. අපි කරන්න තියෙන විශාල දේ ගැන හිතුවොත් හිතට බය ඇති වෙනවා . මේක කොහොමද කරන්නේ කියලා හිතෙනවා. එත් ඔබ  ඒ විශාල ඉලක්කය දිනපතා කළ යුතු කුඩා කොටස් වලට වෙන් කරලා, ඒ විදියට දිගටම කරගෙන යන්න.  දන්නෙම නැතිව විශාල ඉලක්කය කරන්න පුළුවන්  එකක් බවට පත්වෙනවා.

 

ඵලදායීතාවයේ මූලිකාංග.

 

■          ඔබ කළ යුතුම දේ, ඔබ කිරීමට කැමති දේ සහ ඔබට කාලය ඇත්නම් ඔබ කරන්නේ කුමක්ද යන්න වෙන්කර ගන්න . ඉන්පසු පළමු කොටස් දෙක කෙරෙහි අවධානය යොමු කර තුන්වන කොටස  වෙනත් කෙනෙකුට පවරන්න.

 

■          පළමු කොටස් දෙකෙහි ඇති, ඔබ “කළ යුතුම කටයුතු” වලට ප්‍රථමයෙන් අවධානය දෙන්න. එම කටයුතු කුඩා කොටස් වලට වෙන්කරගන්න. ඒ ඒ කොටස නිමකළ විට ඒ ඉදිරියෙන් හරි ලකුණ යොදන්න. නැතිනම් “කර අවසන් කටයුතක්” සේ සලකා කපා ඉවත් කරන්නත් පුළුවන්.

 

■          පළමු කොටස අවසන් කළ පසු “ඔබ කිරීමට කැමති දේ” වෙත ගොස් ඉහත ලෙසම කරන්න.

 

■          ඔබ සකස් කළ වැඩ ලැයිස්තු සහ ඉලක්ක පහසුවෙන් පෙනෙන  තැනක තබා ගන්න. එය ඔබේ කළයුතු කටයුතුවල පිළිවෙල  පවත්වාගෙන  යන්න උපකාරී  වෙනවා.

 

■          ඔබ ඔබේ ක්‍රමයක් සකසා ගන්න. වැඩ කිරීමේදී අපි එකිනනෙකා  වැඩ කරන අපිට අවේණික ක්‍රම තිබෙනවා. ඔබට හරියන ක්‍රමය ඔබේ මිතුරාට හරි නොයන්න පුළුවන්. කරමින්, ඉදිරියට යමින්, අත්වැරදීම් තුලින් ඉගෙන ගනිමින්, ඔබට වඩාත් සුදුසු , ඔබේ ඵලදායී ක්‍රමය සොයා ගන්න, ක්‍රමයක් සකසා ගන්න. ඉන් අනතුරුව දිගටම එය අනුගමනය කරන්න.

 

■          පවත්වාගෙන යාම ඉතා වැදගත්. යමක් දිගු කාලීනව කරගෙන යන විට තමයි, ඒක අපේ පුරුද්දක් බවට පත්වෙන්නේ. ඉතින් අපි ගොඩනඟාගන්න  හොඳ වැඩ පුරුදු අපි දිගටම කරගෙන යන්න ඕනේ. එය  අපේ ජීවිතයේම ඵදයීතාවය ඉහළ නැංවීම සඳහා ඒ පුරුදු හේතු වෙනවා.

 

■          සමහර දින වලට ඔබ සැලසුම් කරගත්ත අකාරයටම ඔබේ කටයුතු කරන්න අපහසු  වෙන්න පුළුවන්. ඒක ලොකු ප්‍රශ්නයක්  කරගන්න එපා. එහෙත් ඔබ ගොඩනඟාගත් හොඳ පුරුදු අත්හැර දමන්න එපා. පවත්වාගෙන යාම වැදගත්. උදාහරණයක් ලෙස ඔබට වේදනාවක් දැනෙන දිනයක ව්‍යායාම නොකර සිටීම හෝ ඔබට  දරාගත හැකි ප්‍රමාණයකින් පමණක් කිරීම කරන්න පුළුවන්. නමුත් ඔබ යථා තත්වයට පත් වූ විට යළි ඔබේ හොඳ පුරුද්ද පවත්වාගෙන යාම ඔබ කරන්න ඕනේ.

 

ඵලදායීත්වය  කියන්නේ අවසාන වශයෙන් අපට බාධාවක්  හෝ කරදරයක් නොවේ. ඇත්තටම අපිට බාධා  කරන දේවල් වලින් අපිව ඉවත් කරගෙන අප විසින් කළයුතු දේවල් මනාව සැලසුම් සහගතව ඉටු කිරීම හරහා අපි අපේ උපරිමයට ළඟා වීමක්. ඒ නිසා අපි අපේ වැඩ සැලසුම කරන්නත් සැලැස්මට අනුව වැඩ කරන්නත්, අපිට බාධා කරන  බධා කිරීම් වලින් ඈත් වන්නත් පුරුදු වෙමු.

 

You may also like

Leave a comment