මාධ්‍යය සාක්ෂරතාව

Media Literacy

 

බහුවිධ  මාධ්‍යයන්ගෙන් ලැබෙන තොරතුරු අතර ඔබ ගිලී ඇති බවක් ඔබට දැනෙනවද? එම තොරතුරු පිළිබඳව යම් අවදි බවක්, තෝරාගැනීමක් කරන්න ඔබට අවශ්‍යද? එසේ නම්, ඔබ අපේක්ෂා කරන්නේ මාධ්‍යය සාක්ෂරතාවයෙන් යුතු අයෙකු බවට පත්වීමටයි. සාම්ප්‍රදායික මාධ්‍යය මෙන්ම, සමාජ මාධ්‍යය වැනි සාම්ප්‍රදායික නොවන මාධ්‍යය දිනපතා විශාල තොරතුරු ප්‍රමාණයක් අපගේ ජීවිත වලට රැගෙන එනවා. ඒවා අපේ ජීවිත වලට දැඩි බලපෑමක් නිරන්තරයෙන් එල්ල කරන්න පුළුවන්. එම නිසයි අපි  මාධ්‍යය සාක්ෂරතාවයෙන් යුක්ත විය යුත්තේ.

 

මාධ්‍යය සාක්ෂරතාවය යනු කුමක්ද?

 

මාධ්‍යය සාක්ෂරතාවය කියන්නේ ඒ ඒ මාධ්‍යය පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගැනීමට උපකාරී වන මාධ්‍යය විග්‍රහ කරගැනීම පිළිබඳව ඔබට පවතින හැකියාව. විවිධ මාධ්‍යය හරහා ඔවුන් අපට තොරතුරු ලබා දෙනවා. ඒ සමහර තොරතුරු විවෘතයි. සමහර තොරතුරු ලබා දීමේදී එහි සැඟවුණු අරමුණු පවතින්න පුළුවන්. ඉතින් අපිට ඒ ගැන අදහසක් නැති  වුණොත් අපි එය සත්‍ය ලෙස ගන්නවා. එහෙත් ඔබට හොඳ මාධ්‍යය සාක්ෂරතාවයක් තිබේ නම් ඔබට තාර්කිකව, තොරතුරු සමබරව, හොඳින් තේරුම්ගන්න එය උපකාරී වෙනවා.

 

මාධ්‍යය සාක්ෂරතාව ඇති කරගන්නේ කෙසේද?

 

මතක තබා ගත යුතු වැදගත්ම දෙය නම්, මෙම ලිපිය ඇතුළුව අද අප දකින සෑම දෙයක්ම යමෙකු (හෝ කණ්ඩායමක් හෝ පුද්ගලයින්) විසින් නිර්මාණය කරන ලද ඒවා බව. එතකොට ඒ ලියන කෙනා හෝ ලියන අයගේත් යම් යම් විශ්වාස, මතවාද, අදහස් තියෙනවනේ. ඔවුන් ලිපිය ලියන ආකාරය කෙරෙහි ඒවා බලපානවා. පණිවිඩය හා පණිවිඩය දෙන කෙනාගේ මතය වෙන්කර ගන්න එක අපි කරන්න ඕනේ. එය ලිවීම තුලින්, ඔවුන් අපේක්ෂා කරන්නේ කුමක්ද? යන්න අපට තේරුම් ගන්න පුළුවන් නම් කතුවරයාට  අපට දීමට අවශ්‍ය වූයේ කුමක්ද යන්න අපිට වටහා ගන්න පුළුවන්.  අපි එම කෝණය දැනගත් විට, නිර්මාණකරුගේ පණිවිඩය කුමක්දැයි අපි දනිමු. එවිට අපට අවබෝධයෙන් තොරතුරු  තේරීමක් කළ හැකියි.

මින් අදහස් කරන්නේ මෙම කෝණ සහ පණිවිඩ සෑම විටම සෘණාත්මකයි කියන එක නෙවෙයි. ඇත්ත වශයෙන්ම, බොහෝ විට ඒවා ධනාත්මක වෙන්න පුළුවන්. යම් යම් හේතූන් මත මිනිසුන් දැනුවත් කිරීම, යම් සැනසීමක් ලබා දීම, සාමය හෝ සමගිය පිළිබඳ හැඟීමක් ඇති කිරීම සහ පාඨකයාට, නරඹන්නාට හෝ සවන් දෙන්නන්ට විනෝදාස්වාදය ලබා දීම සමහර හේතු අතර පවතිනවා. එහිදී අරමුණ හානිකර නැහැ. අපි දැනුවත් විය යුතු වන්නේ තොරතුරු පිටුපස ඍණාත්මක හෝ අපට නොපෙනෙන වෙනත්  න්‍යාය පත්‍රයක් තිබේද යන්න පිළිබඳවයි.

යමෙක් නිරන්තරයෙන් දැන්වීම් පළ කරමින් යමක් මිලදී ගැනීමට ඔබව පොළඹවන්න උත්සාහ කරනවාද? ඔබේ සමාජ මාධ්‍යය වල බැනර් පළ කරමින් යම් පක්ෂයකට ඡන්දය දීමට ඔබව පොළඹවීමට යමෙකු  උත්සාහ කරනවාද ? ඉලක්ක ගත කණ්ඩායමක් වෙත පණිවිඩයක් ලබාදීමේ ක්‍රමයක් ලෙස මේක යොදා ගන්නවා. එහෙත් මෙය නිතර නිතර ඔබට දකින්න සලස්වන අයගේ අරමුණ කුමක්ද යන්න තේරුම්  ගැනීම ඔබට වඩා හොඳ තීරණයක් ගැනීම සඳහා උපකාරී වෙනවා.

අප එය දැනගත් පසු, අපට එම ඇඳුම මිලදී ගැනීමට හෝ එම පක්ෂයට ඡන්දය දීමට අවශ්‍යද? යන්න පිළිබඳව අවබෝධයෙන්  යුතු  තේරීමක් කරන්න පුළුවන් (වැඩිදුර පර්යේෂණ හරහා). එය ඔබට භාරයි. නමුත් ඔබ ප්‍රවේසම් වෙන්න ඕන දෙය තමයි එය දැක්ක පමණින් පිළිගන්නේ නැතිව, එය ඔබට අවශ්‍ය දෙයක් නම්, ඒ පිළිබඳව සොයා බැලීමට තීරණය කිරීම. කතාවේ දෙපැත්ත බැලීමට එකිනෙකට වෙනස් ප්‍රභවයන් පරීක්ෂා කර බලන්න. ඉන් අනතුරුව අනෙකා කී දෙය මත නොව, විමසා බලා  ඔබේ මනාපයන් මත පදනම් ව තීරණය කිරීම ද හොඳ අදහසක්.

 

මාධ්‍යය සාක්ෂරතාවයේ මූලිකාංග.

 

■          සෑම දෙයක්ම ප්‍රශ්න කරන්න. ඔබ දකින සෑම දෙයක්ම ප්‍රශ්න කරන්න . සෑම දෙයකටම පණිවිඩයක් හෝ න්‍යාය පත්‍රයක් ඇති බව සෑම විටම මතක තබා ගන්න, ඔබ දකින දේ ඔබ දකින්නේ ඇයි සහ නිර්මාණකරු ඔබ ලවා  කරවා ගැනීමට උත්සාහ කරන්නේ කුමක් දැයි විමසන්න.

■          විවේචනාත්මක වන්න. රංචුව අනුගමනය නොකරන්න. ඔබේම පර්යේෂණයක් කර කාරණය  කුමක්දැයි ඔබම තේරුම් ගන්න. කියන දේ, එය පවසන ආකාරය සහ එය කීවේ කවුද යන්න විවේචනාත්මකව සිතන්න.

■          හිඩැස් හඳුනා ගන්න. නිර්මාණකරු අත්හැරියේ කුමක්ද? මන්ද? එය ඔබේ මතය වෙනස් කළ හැකි වැදගත් තොරතුරු කොටසක්ද?

■          හැඟීම් තක්සේරු කරන්න. එය ඔබ තුල ඇති කළ හැඟීම් මොනවාද? ඔබ යමක් කිරීමට පෙළඹවීම සඳහා නිර්මාණකරු ඔබ තුල යම් හැඟීමක් ඇති කිරීමට උත්සාහ කරනවාද?

■          හේතුව, මෙය  ඔබ හවුල් වීමට හෝ මිලදී ගැනීමට අවශ්‍ය දෙයක්ද? එය ඔබගේ විශ්වාසයන් සමඟ හොඳින් සම්බන්ධ වේද? එය ඔබේ අදහස්වලට අභියෝග කරනවාද? එසේ නම්, ඔබගේ පෙර අදහස්වල වෙනස්කමක් කරගන්න ඔබ සූදානම්ද?

 

මාධ්‍යය විශිෂ්ට මෙවලමක් විය හැකි නමුත් අප එය පරිහරණය  කරන ආකාරය සම්බන්ධයෙන් අප වගකිව යුතුය. විවෘත නමුත් විවේචනාත්මක මනසක් තිබීම ඔබ දකින දේ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සහ ඔවුන් විසින් හැසිරවීමෙන් ඔබව ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ. සෑම දෙසින්ම එන තොරතුරු වෙත සවන් දෙන්න. එහෙත් තාර්කිකව සිතමින් ඔවුන්ට ඔබව මෙහෙයවීමට ඉඩ නොතබන්න. ඒ සඳහා “මාධ්‍යය සාක්ෂරතාවය” ඇති කරගන්න.

 

 

You may also like

Leave a comment