මුලපිරීමේ හැකියාව

Initiative

 

පෙර ගමන් යන “මුලපිරීමේ” හැකියාව. 

 

ඔබට නිතරම අවශ්‍ය ඔබෙන් අපේක්ෂා කරනවාට වඩා දෙයක් කරලා පෙන්නන්නද? ඔබ ලෝකයාට දැනෙන දෙයක් කරන්න හිතමින් ඉන්නවද? එහෙමත් නැත්නම් අනෙක් අයෙක් කරන කටයුත්තක් පහසු කරදෙන්න උදව් කරන්න ඔබ කැමතිද? ඔබේ කාර්යාලයේ කටයුතු පහසු කරන්න නව ක්‍රම ගැන ඔබ හිතනවද? ඔබ, ඔබේ ප්‍රධානියා කියනකම්  බලන් ඉන්නේ නැතිව වැඩ කරන කෙනෙක්ද? ඒ ඔබ නම්, ඉන් අදහස් වන්නේ ඔබ “මුලපිරීමේ හැකියාව” ඇති මූලිකත්වය ගන්නෙක් බවයි.

 

මුලපිරීම යනු කුමක්ද?

 

මුලපිරීමේ හැකියාව ඔබ සතුව ඇත්නම් එය වර්තමාන වැඩ ලෝකයේ වටිනා කුසලතාවයක්. මූලිකත්වය ගැනීම, කියනකම් ඉන්නේ නැතිව කටයුතු ඇරඹීම, හරහා ආයතනය තුල අපිට වටිනාකමක් ගොඩනඟා ගන්නටත්, ආයතනය තුල ඉදිරියට යාමට අවස්ථාවක් ඒ හරහා උදාකර ගන්නටත් අපට හැකි වෙනවා. ඒ වගේ අයට ප්‍රධානීන් බොහොම කැමැත්තක් දක්වනවා. තව අයෙක් කියන තුරු, පෙන්වාදෙන තුරු බලා නොසිට ක්‍රියාත්මක වීම නොහොත්  මුලපිරීමේ හැකියාව ඔබ තුල ඇති වෙන්නේ,  ඔබ ඉදිරිපත් වී යමක් කළයුතු  අවස්ථා ස්වාධීනව  හඳුනාගැනීම, එම අවස්ථාවේ කළ යුතු වඩාත් සුදුසු දෙය පිළිබඳව තීරණ ගැනීමේ හැකියාව ඔබ සතුව පැවතීම මතයි.

 

මූලිකත්වය ගන්නේ කෙසේද?

 

මුලපිරීමේ රහස ස්වයං කළමනාකරණයයි. ඔබට යහපතක් වන  සහ අන් අයට ප්‍රයෝජනවත් වන දේවල් කිරීමට ඔබ ඉදිරිපත් වන්න. ඒ සඳහා ඔබට, ඔබේ වටපිටාව පිළිබඳව මනා  විමසිල්ලෙන් (නිරීක්ෂණාත්මක්ව) හා විශ්ලේෂණාත්මකව ඉන්න වෙනවා . ඔබ දකින දේවල්ම අනෙක් අයත් දකිනවා. එහෙත් ඔබ ක්‍රියාත්මක වන අකාරයෙන් ඔවුන් ක්‍රියාත්මක නොවීම තමා වෙනස. උදාහරණයක් ලෙස කාර්යාලයේ යම් උපකරණයක් ක්‍රියාවිරහිතව ඇතැයි සිතන්න. හැම අයෙක්ම එය කැඩී ඇති බව දකිනවා. නමුත් එය නිවැරදි කිරීම සඳහා මූලිකත්වය හැමෝම ගන්නේ නැහැ. ඒක ඔහේ තියෙන්න හරිනවා. මූලිකත්වය ගන්න කෙනා ඔබ වෙන්න.

එය කරන්නේ කොහොමද? ඔබ ඒ ගැටලුව දකිනවා, ඒ වගේම එයට ඉක්මන් විසඳුමක් අවශ්‍ය බව වටහා ගන්න, අළුත්වැඩියා කිරීමේ සමාගමක් හෝ එය කළහැකි අයෙක්ව සම්බන්ධ කරගන්න, උපකරණ බැලීමට ඔවුන් සමඟ වේලාවක් සකසා ගන්න, ඒ සඳහා ගෙවීමක් කිරීමට වේ නම්, මිල ගණන් කැඳවීම හා අවශ්‍ය අනුමැතිය ලබාගැනීම කරන්න. ඔවුන් සමඟ පසු විපරම් කිරීම සහ එය නිවැරදි  කරන බවට වග බලාගන්න. එහෙමත් නැත්නම්, ඔබට දැනුම සහ මෙවලම් තිබේ නම් එය ඔබම නිවැරදි කරන්න. එය මුලපිරීමකි. එය ගැටලුව පිළිබඳව නිරීක්ෂණය කිරීම, තත්වය විශ්ලේෂණය කිරීම සහ පසුව මූලිකත්වය ගැනීමයි. එය ඔබට පමණක් නොව අන් අයටත් යහපතක් වන වටිනා කුසලතාවයක්.

ඔබේ කණ්ඩායමට නිමකිරීමට තිබූ කටයුත්තක් නිම කිරීමට නියමිත කාලය ළංවෙනවා යැයි සිතන්න. හැමෝම කලබලයි. නායකත්වය ගන්න එක්කෙනෙක් නැහැ. ඔබේ ප්‍රධානියාත් වෙනත් කාර්යයක කාර්යබහුල වෙලා. එහෙමත් නැත්නම් ගනුදෙනුකරුවෙක් හමුවන්න එළියට ගිහින්.  ඒ නිසා ඔහුව සම්බන්ධ කරගන්න, උපදෙස් පතන්න කොහෙත්ම විදියක් නැහැ. එත් කණ්ඩායමේ හැමෝම විවිධ හේතු හා නිදහසට කරුණු කියමින් විධානයක් ලැබෙන තුරු සිටිනවා. මෙහෙම අවස්ථාවක, ඔබ වහාම නායකත්වය ගන්න ඕනේ. හැමෝම එක්  කරගන්න. ඒ ඒ අයගේ දක්ෂතා අනුව කටයුතු පවරන්න, වහාම ක්‍රියාත්මක  වන්න. කණ්ඩායම ක්‍රියාත්මක කරවන්න. වැඩේ පටන් ගත්තහම  එය කරගෙන යන එක ඒ තරම් අපහසු නැහැ කියන එක ඔබට දැනේවි.

වෙන දෙයක් වෙන්න දීලා ඔහේ බලාගෙන ඉන්න එක, ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. නමුත් වැදගත් වන්නේ, එය නිවැරදි කරන්න යමක් කිරීමයි. මූලිකත්වය ගැනීමේ තවත් වාසි තිබෙනවා. තීරණාත්මක තැන්වලදී ඔබ නිතරම මූලිකත්වය ගන්නා බව දැනගත් පසු, ඉහළ කළමනාකාරිත්වය ඔබව ආයතයට අවශ්‍යම සේවකයෙකු ලෙස හඳුනා ගන්නවා. එමඟින් වේගවත් උසස්වීම් සහ වැඩි වගකීම් ඉසිලීමට ඔබට අවස්ථාව ලැබෙනවා.

 

මූලිකත්වය ගැනීමේ  පැතිකඩ

 

■          මුලපිරීම දුෂ්කර නැත. ඔබ කළ යුත්තේ නිරීක්ෂණයෙන් හා විශ්ලේෂණාත්මකව සිටීම පමණි. වෙනත් අයෙකු විසින් නොදකින  හෝ කිරීමට නොදන්නා අවස්ථා හඳුනා ගන්න.

■          ඉන්පසු, තත්වය විශ්ලේෂණය කර ඔබට එය විසඳිය හැකි ආකාර බලන්න.

■          ක්‍රියාත්මක වන්න. මූලිකත්වය ගැනීමේ වැදගත්ම අංගය මෙයයි. යමක් කළ යුතු යැයි වටහා ගැනීම ප්‍රයෝජනවත් නොවේ. ඔබ ඒ ගැන යමක් කළ යුතුයි.

■          සැලැස්මක් සාදාගන්න. විශේෂයෙන් ඔබ විශාල ව්‍යාපෘතියක් හෝ වැඩිදියුණු කිරීමක් නම්  කරන්න යන්නේ, ඔබ කරන්න යන දෙය ගැන මුලින්ම සැලැස්මක් හදාගන්න. එසේ කිරීම , විසඳුමක් ලබා ගැනීම සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද සහ ඒ සඳහා වන පිරිවැය දැන ගැනීමටත් උපකාරී වෙනවා.

■          ඔබේ විසඳුම ඔබේ කළමනාකරු වෙත ගෙනයාමට පෙර සියලු කෝණවලින් නැවත විශ්ලේෂණය කර ඇගයීමට ලක්කර බලන්න. හිඩැස් හෝ නොගැලපීම් නොමැති බවට වග බලා ගන්න. ඒ මඟින් ඔබට පිරිවැය අඩු කරගන්නත් පුළුවන් වේවි. කළමනාකරුවන්ට,  ඔබ කරනා විසඳුමේ  ප්‍රතිලාභ දැකිය නොහැකි නම්, කිසිඳු කළමනාකරුවෙකු මිල අධික විසඳුමක්  වෙත යොමු වන්නේ නැහැ. එබැවින් පිරිවැයට සාපේක්ෂව ප්‍රතිලාභය හොඳින් වටහාගෙන ඉදිරිපත් කිරීම ඔබට වඩාත් සුදුසුයි. මෙය ඔබේ කළමනාකරුට නිවැරදි තීරණයක් ගැනීමටත් උපකාරී වෙනවා.

 

මූලිකත්වය ගැනීම අපගේ ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයක් . අපි දේවල් ලිස්සා යාමට ඉඩ දෙන්නේ නම්, කිසිවක් සිදු නොවන අතර, අවසානයේ උද්ගත වන තත්වයන් දරාගැනීම ද අපහසු වනු ඇත. අප සපයන සේවාවන්  අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අප නිතරම හැම දෙයක්ම හොඳින් සිදුවන බවට වග බලාගත යුතු වෙනවා.

 

You may also like

Leave a comment