වෘත්තීයභාවය

Professionalism

 

රැකියාව කරන ආයතනයේ ඔබ ඇඳුම් ඇඳිය යුතු ආකාරය, හැසිරිය යුතු ආකාරය, විද්‍යුත් තැපෑලට පිළිතුරු ලිවිය යුතු ආකාරය, ඒ වගේම ඔබේ හැසිරීම තුල පිළිගත හැකි දේවල් හා නොහැකි දේවල් සහ වැඩ කටයුතු කරගෙන යාමේ දී අනුගමනය කිරීමට නීති රීති ඔබේ ආයතනයට  තිබේද? එසේනම් එම  නීති සියල්ල පනවා තිබෙන්නේ, ඔබට ඔබේ  වෘත්තීයභාවය පවත්වා ගැනීමට  උපකාර වනු සඳහායි.

 

වෘත්තීයභාවය යනු කුමක්ද?

 

වෘත්තීයභාවය යනු ඔබ රැකියාවේදී හැසිරෙන ආකාරයයි. ඔබ වැඩ කරන විට ඔබේ මේසය සකසා ගතයුතු අකාරයේ සිට , අන් අයට ආචාරශීලී වීම සහ සෑම කෙනෙකුගේම කාලයට ගරු කිරීම ආදී සියල්ල මෙයට ඇතුළත් වෙනවා.

 

වෘත්තීයභාවය ඇතිකරගන්නේ කෙසේද?

 

අන් අය සමඟ වැඩ කිරීමේ ප්‍රධාන නීති වලින් එකක් වන්නේ අනෙකාට ගෞරව කිරීමයි. ඔබ ඔවුන්ට ගෞරව කරන විට, ඔවුන් ඔබට නැවත ගරු කරනවා පමණක් නොවෙයි , ඔබ වෘත්තිකයෙකු හා යහපත් මිනිසෙකු බවත්, ඔබ සමඟ කටයුතු කිරීම ඉතා පහසු බවත් ඔවුන් වටහා ගන්නවා.

වෘත්තීයභාවයෙන් යුතු වීමට ඔබට කළ හැකි තවත් දේවල් තියෙනවා. ඒ අතරින් සෑම රැස්වීමකටම නියමිත වේලාවට පැමිණිම, සෑම වැඩ කරන දිනකම වැඩට පැමිණීම, සෑම කෙනෙකු සමඟම කටයුතු කිරීමේදී අවංක වීම, ඔබව විශ්වාස තැබිය හැකි අයෙකු වීම, යහපත් සන්නිවේදනය , අනෙක් අයට සහාය වීම, ඔබේ කණ්ඩායමේ සාමාජිකයින්ට උනන්දුවෙන්  සවන් දීම, කරනා දෙයට පූර්ණ අවධානය යොමුකරන්නෙකු වීම හා ධනාත්මකව බව සඳහන් කරන්න පුළුවන්. මෙම යහපත් පුරුදු ඔබ තුල ඇති විට, ඔබ වෘත්තීයභාවයෙන් යුතු අයෙකු ලෙස අන් අය හඳුනා ගන්නවා. එය කටයුතු පහසු වීමටත් ඔබට හිතකර ප්‍රතිලාභ අත්වීමටත් හේතු වෙනවා. වෘත්තීයභාවයක් ඇති අයට හැමෝම කැමතියි.

ඔබ කාර්යාලයට ඇඳුම් තේරීමේදී ප්‍රවේසම් වන්න. ඔබේ භූමිකාව සඳහා ගැලපෙන ලෙස ඇඳුම් අඳින්න, ඔබ එහි වෙනසක් කරනවා නම් කොහොමටත් කාර්යාලයට ගැලපෙන ඇඳුමක් ඇඳිය යුතුයි. අපේ ප්‍රතිරූපය අන් අයට අප ගැන අදහසක් ඇතිකරනවා. මිනිස්සු මුලින්ම අපිව විනිශ්චය කරන්නේ අපව ඔවුන්ට පෙනෙන විදියෙන්.

ඔබ අපිළිවෙලට හා නොගැලපෙන ලෙස ඇඳ පැළඳ සිටී නම්, මිනිස්සු ඒ වගේ අය සමඟ වැඩ කිරීමට කැමති වෙන්නේ නැහැ . ඒ ඔබ තුලින් විශ්වාසනීය බවක්, පිළිවෙලක් හෝ ගෞරවනීය බවක් ප්‍රකාශ නොවන නිසා.

සියලුම ව්‍යාපාරික කටයුතු වෘත්තීය ආකාරයෙන් සිදු කරන්න. දුරකථනයෙන් වේවා පෞද්ගලිකව වේවා ආචාරශීලීව හා ගෞරවාන්විතව කතා කරන්න, ඔබ සාකච්ඡාවක් පැවැත් වූ පසු කතා කළ, එකඟ වූ සියලු වැදගත් දෙය  සටහන් කර ඊ-මේල් පණිවිඩයක් යවන්න. මෙය ඔබට සාකච්ඡා කළ දෙය මතක තබා ගැනීමටත්, වරදවා තේරුම් ගත් දෙයක් වූවා නම් එය නිවැරදි කරගැනීමටත්, පසු කලෙක වුවද අවශ්‍ය තොරතුරක් සිහි කැඳවා ගැනීමටත් උපකාරී වනු ඇත.

 

වෘත්තීයභාවයේ මූලිකාංග

 

■          කුඩා දේවල් වැදගත්. ආචාරශීලී බව, වෙලාවට වැඩ කිරීම , ගෞරවනීය සහ අවංක වීම ආයතනයක වැඩ කිරීමේදී ඔබට බොහොම වාසි අත්කර දෙනවා. අන් අය සමඟ ඔබේ හැසිරීම මත ඔවුන් ඔබ වෙනුවෙන් හැසිරෙන අකාරය තීරණය වන බව අමතක කරන්න එපා.

 

■          ඔබේ වැඩ කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබව ඔබේ ප්‍රධානියා රැකියාවට ගත්තේ හා ඔබ වැඩට ආවේ කුමක් සඳහා ද කියලා අමතක කරන්න එපා. ඔබේ පළමු රාජකාරිය වන්නේ ඔබ සේවය කරන ආයතනය වන අතර ඔබ එහි සිටින විට, ඔබේ කාලය හා ශක්තියෙන් 100% ක්  ආයතනයේ ඔබට පවරා ඇති කටයුතු වෙනුවෙන් යෙදවිය යුතුය.

 

■          සන්නිවේදනය. ඔබට කිසියම් දිනයක වැඩ කිරීමට නොහැකි නම්, හැකි ඉක්මනින් ඔබේ කළමනාකරුට දන්වන්න, එවිට ඔබේ වැඩ කටයුතු කිරීමට යමෙකු සොයා ගැනීමට ඔවුන්ට කාල වේලාව තිබේ.

 

■          සංවිධානාත්මකව සිටින්න. එය ඔබගේ මේසය හෝ ලිපිගොනු රඳවනය, ලැප්ටොප් පරිගණකයේ ඇති ලිපිගොනු යන ඕනෑම දෙයක් වේවා, පිරිසිඳුව හා පිළිවෙලට තබා ගන්න. මෙය ඵලදායී වීමට ඔබට උපකාරී වන අතර ඔබ කාර්යාලයේ නොසිටින විට කඩිමුඩියේ යමක් සොයා ගැනීමට අවශ්‍ය නම් අන් අයට ද එය උපකාරයක්  වනු ඇත.

 

■          ඔබ ආයතනයකින් ඉවත් වූ විට වෘත්තීයභාවය අවසන් නොවේ. ඔබ ඉල්ලා අස්වීම ලබා දුන් දින සිට (අවශ්‍ය හෝ හැකි ඉක්මනින්) ඔබ පිටත්ව යන දිනය දක්වා ඔබේ වෘත්තීයභාවය පවත්වා ගත යුතුය. එසේම, ඔබ ගිය පසු හිටපු සගයකු හමු  වුවහොත්, සියලු සන්නිවේදනය වෘත්තීය මට්ටමක තබා ගන්න.

 

වෘත්තීයභාවය යනු ඉතා වටිනා කුසලතාවයක් වන අතර අප බොහෝ පුද්ගලයින් සමඟ වැඩ කරන අතර කාර්යාල පරිසරයකදී අප ඔවුන් සමඟ ගනුදෙනු කරනු ලබන ආකාරය, සලකනු ලබන ආකාරය වෘත්තීය මට්ටමක පැවතිය යුතුය. එය අපගේ සමාජ අන්තර්ක්‍රියා වල අත්‍යවශ්‍ය අංගයක් වන බැවින් එය අපගේ අන්තර්ක්‍රියා ප්‍රසන්න හා ඵලදායී ලෙස තබා ගැනීමට හේතුවේ.

You may also like

Leave a comment