වෘත්තීය පෞරුෂත්වය

Vocational Personality

 

ඔබට ඔබේ ආයතනයට වැඩි දායකත්වයක් ලබා දීමට අවශ්‍යද? ඔබ කරමින් ඉන්නේ ඔබ ඇත්තටම දක්ෂ රැකියාවද? එහෙම නැත්නම් වෙනත් වෘත්තියක් සඳහා ඔබ වඩාත් දක්ෂද? ඔබේ රැකියාවේ ඔබේ  දක්ෂතා  හා දුර්වලතා මොනවාද කියන්න  ඔබ දන්නවද? රැකියාවෙන්  සාර්ථක වෙන්න නම්, අපි අපේ “වෘත්තීය පෞරුෂය” මොන වගේ එකක්ද කියලා දැනගෙන ඉන්න එක අපි හැමෝටම වටිනවා. අපි හැමෝම  වෘත්තීය පෞරුෂත්වය අනුව  වර්ග හයකට බෙදෙනවා.

 

වෘත්තීය පෞරුෂයක් යනු කුමක්ද?

 

වෘත්තීය පෞරුෂත්වය කියන්නේ  වැඩ කිරීමට අදාලව ඒ ඒ පුද්ගලයින් තුල තිබෙන හැකියාවන්. එම හැකියාවන් අප තුල වර්ධනය වෙන්නේ  අපි  හැදුණු වැඩුණු  පරිසරය හා  අපේ සංස්කෘතික පසුබිම හරහායි.

 

ඔබේ වෘත්තීය පෞරුෂය දැන ගන්නේ කෙසේද?

 

“ජෝන් හොලන්ඩ්” විසින් පෞරුෂත්ව වර්ග හයක් පිළිබඳ න්‍යායක් හඳුන්වා දුන්නා: යථාර්ථවාදී, ගවේෂණාත්මක, කලාත්මක, සමාජීය, ව්‍යවසායක සහ සාම්ප්‍රදායික කියලා. මේ  සෑම වර්ගයකටම වඩාත්ම ගැලපෙන කර්මාන්ත (රැකියා) තියෙනවා. හරියට ගත්තොත් අපි කරන්න ඕනේ, ඒ ඒ වෘත්තීය පෞරුෂයට වඩාත් ගැලපෙන වෘත්තීය තෝරාගන්න එකයි. එහෙම වුණොත් තමයි හොලන්ඩ් කියන විදියට අපිට රැකියාව තෘප්තිමත්ව  කරන්න පුළුවන් වෙන්නේ හා අපි ඒකේ දියුණුවක් අත්කර ගන්නේ. මොකද ඒක අපේ ඇඟේ තියෙන දේ නේ, ඔප්නංවලා ගන්න විතරයි අපිට තියෙන්නේ.

යථාර්ථවාදී පෞරුෂත්වයක් ඇති අය වඩාත් යාන්ත්‍රික හෝ භෞතික කර්මාන්ත කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනවා. ඔවුන්  ශක්තිය භාවිත කරන්න කැමතියි. ගවේෂණාත්මක පෞරුෂය ඇති අය විශ්ලේෂණාත්මක හා බුද්ධිමය, විද්‍යාවන් හා පර්යේෂණ වල වැඩ කිරීමට කැමැත්තක් දක්වනවා. කලාත්මක පෞරුෂය පරිකල්පනීය හා නිර්මාණශීලීයි. ඔවුන්,  ලිවීම,  කලා කටයුතු, විවිධ භාෂා ඉගෙනීම  වැනි කටයුතු සඳහා වැඩි කැමැත්තක් හා දක්ෂතාවයක් දක්වයි. සමාජීය  පෞරුෂය මිත්‍රශීලී හා උද්යෝගීමත් බවින් යුතුයි.  එවන් අය ඉගැන්වීම, උපදේශනය සහ සමාජ සේවා කෙරෙහි වඩා සුදුසු මෙන්ම කැමැත්තක් දක්වයි. ව්‍යවසායක පෞරුෂය ඇත්ත වශයෙන්ම අරමුණු සහගතයි. ඉලක්ක හඹා යාමේ ගුණයෙන් යුතුයි. ස්ථීරයි. එවැනි අය ව්‍යවසායකත්වය සඳහා වඩා සුදුසුයි. අවසාන වර්ගය, සාම්ප්‍රදායික පෞරුෂය. විධිමත් හා ප්‍රවේශම් සහගත වන අතර, ඔවුන් ගිණුම්කරණ හෝ ලිපිකරු වැඩවල යෙදීමට කැමැත්තක් දක්වනු ඇත.

(මුලාශ්‍රය: Career Research)

 

වෘත්තීය පෞරුෂයක මූලිකාංග 

 

■          ඔබේ ශක්තීන් හා දුර්වලතා හඳුනා ගන්න. ඔබේ ආයතනයට ප්‍රයෝජනවත් වන ඔබ වඩාත් හොඳින් කරනා දෙය කුමක්ද? ඔබේ ආයතනයට ඔබේ දායකත්වය වඩා හොඳ වීම සඳහා ඔබ වර්ධනය  කරගත යුත්තේ ඔබේ කවර අංශද? ඔබට එය තනිවම හඳුනාගත නොහැකි නම්, වෘත්තීය පරීක්ෂණයක් කර ඒ පිළිබඳව දැනගන්න.

 

■          ඔබේ පෞරුෂයට ගැලපෙන කර්මාන්තයක්(වෘත්තීයක්) තෝරාගන්න. ඔබේ පුද්ගලික රුචිකත්වයන් හා ආර්ථිකමය සාධක සමතුලිත කරගන්න. ඔබේ වෘත්තීය දියුණුව තීරණය වන්නේ ඔබ නියැලි සිටින ක්ෂේත්‍රය තුල ඔබට කොපමණ කාලයක් රැඳී සිටිය හැකිද යන්න මතයි.

 

■          ඔබේ වෘත්තීය හොඳින් කරන්න අවශ්‍ය මූලික කරුණු සහ අවශ්‍යතා හඳුනාගෙන ඒවා ඉගෙන ගන්න. එවිට ඔබට ඔබේ රැකියා කටයුතු ඉතා හොඳින් කිරීමට හැකිවෙනවා.

 

අපගේ රැකියාව තෝරාගැනීමේදී අපගේ හැකියාවන් පිළිබඳව  අප අවබෝධයක් ඇතිව සිටීම රැකියාවේ දියුණුව අත්කර ගැනීමට  බෙහෙවින්ම හේතු වෙනවා .වෘත්තීය පෞරුෂයන් 6 පිළිබඳ හොලන්ඩ් ගේ  න්‍යාය ඔබ රැකියාව කළ යුත්තේ කොතැන ද  (කුමන ක්ෂේත්‍රයද) යන්න තීරණය කිරීමට උපකාරී වෙනවා.

You may also like

Leave a comment