සමාජ කුසලතා

Social Skills

 

ඔබ අන් අය සමඟ එක්ව වැඩ කිරීමට කැමතිද? පිරිසක්  සමඟ කාලය ගත කිරීමේදී  ඔබට සතුටක් දැනෙනවද ? ඔබ කොතැනක සිටියත් මිතුරන් ඇති කර ගැනීමට සහ සියලු සබඳතා මිත්‍රශීලීව තබා ගැනීමට උත්සාහ කරනවාද? මේවා අද ලෝකයේ අප සතුව තිබිය යුතු වැදගත් සමාජ කුසලතාවන් වේ .

 

සමාජ කුසලතා යනු කුමක්ද?

 

සමාජ කුසලතා යනු අන් අය සමඟ වැඩ කිරීමේ ඔබ සතු හැකියාව වඩා යහපත් කිරීමට හේතුවන, ඔබේ  හොඳ පෞද්ගලික ගුණාංගයි. අන් අය සමඟ හොඳින්  වැඩ කිරීමේ කුසලතාවය ඔබට වාසි සහගත වෙන්නේ කොහොමද? එය ඔබට අන් අය සමඟ හොඳින් සන්නිවේදනය කරන්න, ඔවුන් සමඟ හොඳ සබඳතා වර්ධනය කරගන්න උපකාරී වෙනවා. එවිට  ඔබට කණ්ඩායමක් සමඟ හොඳින් වැඩ කරන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒ හරහා ඔබේ ඉලක්ක පහසුවෙන් ජය ගැනීමට එය  උපකාරී වෙනවා. හේතුව ඔබට අන් අයගේ සිත් දිනාගැනීමට හා සහාය ලබාගැනීමට හැකිවන නිසා.

 

සමාජීය නිපුණතා ඇතිකර ගන්නා අයුරු.

 

මිනිසුන් සමඟ දීර්ඝකාලීනව, එකිනෙකාට යහපතක්  වන ලෙස හොඳ සබඳතා ගොඩනඟා ගැනීමට ඔබ බලාපොරාත්තු වෙනවා නම්,  අනෙක් නිපුණතා වලදී වගේම මෙහිදීත් “හොඳ සවන්දෙන්නෙකු” වීම අත්‍යවශ්‍යයි . ඒ වගේම අපි අනෙක් අය කෙරෙහි සංවේදී වීම ඉතාම වැදගත්. අපි ඔවුන්ව, ඔවුන්ගේ හැඟීම් හොඳින් තේරුම් ගන්නවා දකින්න ඔවුන් කැමතියි. ඔවුන්ව විනිශ්චයන්ට ලක් කරනවට කැමති නැහැ.  “ගෞරවය” කියන්නේ  අන් අය සමඟ කටයුතු කරද්දී  “මුල් ගල”වගේ දෙයක්. ඉතින් ඔබ සමාජ කුසලතා වර්ධනය කරගන්න බලාපොරාත්තු වෙනවා නම්, අන් අයට  “ගෞරව”  කරන්න පුරුදු වෙන්න ඕන.

ඔබේ සමාජ කුසලතා තව තවත් වර්ධනය කරගන්න අන් අයගෙන් අදහස්/යෝජනා  ලබාගන්න, විමසන්න බිය වෙන්න එපා. අපි අන් අයගෙන් විමසුවේ නැතහොත්, ඔවුන්ට සවන් නොදුන්නොත් අපේ හැසිරීම ඔවුන්ට බලපාන අකාරය අපි දන්නේ නැහැ. සමහර විට අපට ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙන්නත් පුළුවන්, අපි වෙනස් කරගන්න ඕන අපේ දුර්වලතා පිළිබඳව ඔවුන් කියන්නත් ඉඩ තියෙනවා. කොහොම වුණත් අපි ඔවුන්ගෙන් විමසුවොත් , සවන් දුන්නොත් තමා අපිට එය දැනගන්න ලැබෙන්නෙ. අපේ හැසිරීම අන් අයට බලපාන විදිය දැනගැනීම අපේ වර්ධනයට හුඟාක් වැදගත් දෙයක් බව අමතක කරන්න එපා.

ඔබ වැඩි වර්ධනය කරගත යුත්තේ කුමක්ද කියලා දැනගත් පසු එය නිවැරදි කරගැනීම හා වර්ධනය කරගැනීම සඳහා කැපවෙන්න. එහිදී දිගින් දිගටම පුහුණු වීම ඉතා වැදගත්. නිරන්තර පුහුණුව තමයි අපිව සම්පූර්ණ කරන්නේ. අවශ්‍ය දේ කුමක්ද කියලා දැනගෙන එය ඉගෙන ගැනීම සටනේ කොටසක් පමණයි. අප ඉගෙන ගත් දෙයින් “පාඩම ඉගෙන ගැනීමට” ද අප කාලය යොදවන්න ඕනේ. ඉගෙන ගත්තේ කුමක්ද කියලාවත් හෝ ඉගෙන ගත්ත දේ හරියට යොදවන්න අපි දන්නේ නැත්නම් , ඉගෙන ගත්ත දෙයින් වැඩක් වෙන්නේ නැහැනේ. ඔබ ඉගෙන ගත්ත දේවල් තව දුරටත් පැහැදිලි කරගන්න, ඔබට අන්තර්ජාලය පාවිච්චි කරන්න පුළුවන්. අවසාන වශයෙන් මෙම කුසලතා ළඟා කර ගැනීම සඳහා ඉලක්ක තබා ගන්න.

 

සමාජ කුසලතාවයේ මූලිකාංග

 

■          ඔබේ සමාජ කුසලතා හැකියාවන් ඔබට ඕනෑම සමාජ තත්වයක් තුල වඩා හොඳ සබඳතා ඇති කර ගැනීමට උපකාරී වේ.

■          එය එකිනෙකා සමඟ අපගේ සන්නිවේදනය වැඩිදියුණු කරයි.

■          එය අපගේ සමාජ අන්තර්ක්‍රියා වලින් සතුට ලබා ගැනීමේ අවස්ථාව වැඩි කරයි.

■          එය අපගේ වෘත්තීය දියුණුව සඳහා ඇති අවස්ථා වැඩිකරයි.

■          වඩා හොඳ අන්තර්ක්‍රියාකාරිත්වයන් මඟින් ඔබට වෙනත් පුද්ගලයින් සමඟ ඉක්මනින් හා කාර්යක්ෂමව වැඩ කිරීමට හැකි වනු ඇත.

■          ඔබ තොරතුරු හුවමාරු කර ගැනීම (තොරතුරු සහ සම්පත්), සහයෝගයෙන් කටයුතු කිරීම, අන් අයට ඇහුම්කන් දීම, කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම හා  ආචාරශීලී වීම මෙහිදී වැදගත්වන බව මතක තබාගන්න.

අන් අය සමඟ එක්ව කටයුතු කිරීමේ  අපේ හැකියාව තීරණය වෙන්නේ  අපේ  “සමාජ කුසලතාවයන්” මතයි.

අපගේ සමාජ කුසලතා ඉහළ හෝ වැඩිදියුණු වූ තරමට, අප මිනිසුන් සමඟ කටයුතු කරන අකාරයත් යහපත් හා වැඩිදියුණු වෙන්න පටන් ගන්නවා. පුරවැසියකු ලෙස සමාජයේ ජීවත් වීමේ දී මෙන්ම වෘත්තීය පසුබිමක් සහිතව කාර්යාලයේ වැඩ කරද්දීත් අපි එකිනෙකාට ගරු කරන්න සහ කරුණාව දක්වන්න පුරුදු වෙන්න ඕනේ. වඩා හොඳ හෙට දවසක් සඳහා ඔබේ සමාජ කුසලතා වර්ධනය කරගැනීම අද සිටම ආරම්භ කරන්න.

 

 

 

You may also like

Leave a comment