සමාජ වගකීම

Social Responsibility

 

ඔබ ඔබගේ හැසිරීම් ලෝකයට බලපාන්නේ කෙසේද කියලා ඒ ගැන හිතන කෙනෙක්ද? ඔබට ඔබේ හෘද සාක්ෂියට එකඟව ජීවත්වන, වැඩ කරන අයෙකු වෙන්න අවශ්‍යද? අප  සමඟ ජීවත්වන සමාජයේ  අනෙක් අයට ඔබ නිසා යහපතක්, හොඳක්  වෙනවා දකින්න ඔබට  අවශ්‍යද? මෙවැනි  ප්‍රශ්න ඔබ ඔබෙන් අසනවා නම් හා එසේ ඔබ ක්‍රියා කිරීමට උත්සාහ කරනවා නම්, ඔබ සමාජ වගකීමක් ඇති අයෙකු ලෙස ජීවත් වීමට උත්සාහ දරන අයෙක්.

 

සමාජ වගකීම යනු කුමක්ද?

 

සමාජ  වගකීම යනු අපේ හැසිරීම් හා ක්‍රියාවන් තුලින් අපි ජීවත්වන සමාජයට හා ලෝකයට යහපතක් වන බවට වගබලා ගැනීමයි. වර්තමානයේ, බොහෝ ආයතන තම ආයතයයේ “ආයතනික සමාජ වගකීම” පිළිබඳ ප්‍රතිපත්ති එළිදක්වා ඇති අතර, ඒවා ඉටුකර ගැනීම සඳහා කණ්ඩායම් වෙනම පත්කිරීම ද  සිදු කරනු ලබයි.

 

සමාජ වගකීම් දරන්නේ කෙසේද?

 

සමාජ වගකීම් දැරීමට නම්, ඔබ හැසිරෙන (ජීවත් වන) ආකාරය  සමස්ත සමාජයටම යහපත් හා ප්‍රයෝජනවත් වන ආකාරයට පවත්වාගන්න ඕනේ. අපට ලාභයක් උපයා ගැනීම සඳහා  පමණක් අවධානය යොමු කර වැඩකටයුතු කරන එක සුදුසු නැහැ. අප සමඟ ජීවත්වන අනෙක්  පුරවැසියන් රැකබලා ගැනීමත් අපගේ වැඩ කටයුතු /හැසිරීම්  ඔවුන්ට හානියක් නොවන බවට වගබලා ගන්නත් අපට සිදු වෙනවා.  මිනිසුන් ගැන පමණක් නොවෙයි,  ස්වාභාවික පරිසරය සම්බන්ධයෙන් ද අපට මේ ආකාරයට වගකීම් සහගතව වැඩ කරන්න වෙනවා . නිෂ්පාදන සමාගම් විසින් පරිසරයට මුදාහරින අහිතකර වායු නිසා ඕසෝන් ස්තරය විනාශ  වීම වැනි බොහෝ හානීන් සිදු වෙනවා . ඒ නිසා ආයතනික සමාජ වගකීමක් ලෙස සලකා එය අඩු කිරීමට කටයුතු කරන ලෙස බොහෝ ඉල්ලීම් ඉදිරිපත් වෙනවා. එමෙන්ම දූෂිත වායු හා ජලය විමෝචනය කරන කර්මාන්තශාලා ඇති බොහෝ සමාගම් ඒ සඳහා නව අදහස් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔවුන්ගේ ආයතනික සමාජ වගකීම් යටතේ.

එමෙන්ම විවිධ සමාජ සුභසාධනාත්මක වැඩසටහන් හරහා ද ඔබේ ආයතනයට “ආයතනික  සමාජ වගකීමට” දායක වීමේ හැකියාව පවතිනවා. ඒ යටතේ උපකාර අවශ්‍ය අයට උපකාර කිරීම වැනි විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා ඔබ දැකලා ඇති. උදාහරණ ලෙස බොහෝ දෙනෙක් දිළිඳුකමින් පෙළෙන අයට පොත්, ඇඳුම්, සපත්තු වැනි දෑ පරිත්‍යාග කරනවා. සමහර සංවිධාන වෙරළ පිරිසිඳු  කිරීම , පැළ සිටුවීම, කඩොලාන පරිසර පද්ධති  සංරක්ෂණය කිරීමට උදව් කිරීම වැනි විවිධ ආකාර වලින් “ආයතනික සමාජ වගකීම්” සඳහා දායකත්වය සපයනවා.

පුද්ගලයින් ද සමාජීය වශයෙන් වගකිව යුතුයි. ඔවුන් උනන්දුවක් දක්වන සමාජීය කටයුත්තක් සඳහා ඔවුන්ගේ කාලය, මුදල් හෝ ශක්තිය ස්වේච්ඡාවෙන් ලබාදෙන්න ඔවුන්ටත් පුළුවන්. බොහෝ යෞවනයන් ඔවුන්ගේ උදව් අවශ්‍ය වෙනත් රටවල වැඩ  කිරීමට බලාපොරොත්තුවෙන් ලොව වටා සංචාරය කරන්නේ මේ නිසා. ඔබටත් ඔබේම රටට හා ප්‍රජාවට, ප්‍රජා ශාලාවක් ගොඩනඟමින්,  ලේ දන් දීමෙන් ඔවුන්ගේ  ජීවිතය යහපත් කර ගැනීම සඳහා දායකත්වයක් සපයමින් ඔබේ සමාජ වගකීම සඳහා දායක වන්න පුළුවන්.

 

සමාජ වගකීම් සහගත බවේ මූලිකාංග.

 

■          පරිත්‍යාගශීලිත්වය (හොඳ අරමුණක් සහිත, පුණ්‍ය කටයුතු වැනි කටයුතු සඳහා ත්‍යාගශීලී ලෙස මුදල් පරිත්‍යාග කිරීම), පරිසර සංරක්ෂණය, නගරය පිරිසිඳු  කිරීම, ස්වේච්ඡා සේවය වැනි ක්‍රියාවන් හරහා අපටත් සමාජ වගකීම් ඉටු කරන්න පුළුවන්.

 

■          සමාජ වගකීම් දැරීමට නම් ඔබ ආශා කරන සමාජ මෙහෙවරක් හඳුනාගෙන, කුමන දෙය කවදා වනවිට කළ යුතු ද ලෙස සැලැස්මක් සකසා ගන්න.

 

■          මෙම සැලසුම් වලට පහසුවෙන් ළඟා කර ගත හැකි ඉලක්ක තිබිය යුතුය.

 

■          ඉන් අනතුරුව ඔබ කටයුතු පහසු කරගත හැකි සම්පත් සොයා බැලිය යුතුය. එය පුද්ගලික ව්‍යාපෘතියක් පමණක් නම්, ඔබ ලබා දෙන්නේ කුමන සම්පත් ද? ඔබ ඔබේ කාලය, මුදල් හෝ ශක්තිය ලබා දෙනවාද? එය සමාගමක් විසින් කරනු ලබන  ව්‍යාපෘතියක් නම්, ව්‍යාපෘතිය සඳහා වැඩ කිරීමට හොඳ කණ්ඩායමක් තෝරා ගන්න. ඔවුන්ට හොඳ අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩ දෙන්න. ව්‍යාපෘතිය පිළිබඳ සම්මුතියකට එළඹෙන තෙක් සාකච්ඡා කිරීමට ඉඩ දෙන්න.

 

■          ඔබට සමාන අදහස් ඇති වෙනත් සමාගම් හෝ පුද්ගලයින් සමඟ එක්ව වැඩ කිරීම ද ඔබට කරන්න පුළුවන්.

 

අපගේ අන්තර්ක්‍රියා වලදී, සමාජයේ අන් අය කෙරෙහි අපගේ බලපෑම පිළිබඳව අප නිතරම අවධානයෙන් ඉන්න ඕනේ. සෑම විටම අපෙන් සමාජයට විය හැකි අහිතකර බලපෑම් මඟහරවා ගැනීමට අප උත්සාහ කළ යුතුය.

 

 

 

You may also like

Leave a comment