සහයෝගීතාවය

Collaboration

එක්ව වැඩ කිරීමේ කලාව සහයෝගීතාවයයි:

ඔබ රැකියාවක් සොයමින් ඉන්න අයෙක්,නැත්නම් රැකියාවක හෝ තමන්ගේම ව්‍යාපාරයක නිරත අයෙක්  වන්නත් පුළුවන්. කොහොම වුණත් “තවත් පිරිසක් එක්ක වැඩ කරන්නේ කොහොමද? ඉලක්කය ජයග්‍රහණය කරන්න ඔවුන්ගේ සහාය ලබාගන්නේ කොහොමද ?” මේ වගේ ප්‍රශ්න ඔබට ඇති. එසේනම්  ඔබ දැනටමත් “සහයෝගීතාවය” ගැන සිතමිනුයි ඉන්නේ.

වැඩ ලොවට අවශ්‍යම කුසලතාවයක් වන“සහයෝගීතාවය”කියන්නේ කුමක්ද?

සහයෝගීතාවය කියන්නේ: “ඔබ හෝ ඔබේ කණ්ඩායම වෙනුවෙන් ඔබ සකසාගෙන තිබෙන ඉලක්කයක් සපුරාගන්න, ජයග්‍රහණය කරන්න, වෙනත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් එක්ක එකතුවෙලා වැඩ කිරීමේ කලාව. එහෙමත් නැතිනම් හැකියාව”.

ඔබ රැකියාවක හෝ වෘත්තීයක හෝ ඔබේම ව්‍යාපාරයක නියැලෙනවා කියල හිතන්න. එවිට ඔබට තවත් පිරිසක් එක්ක එකතුවෙලා වැඩ කරන්න වෙනවා . එහෙම පිරිසක් එක්ක එකතුවෙලා වැඩ  කරද්දී  “සහයෝගීතාවය” කියන කුසලතාවය ඔබ තුල නැතිනම්, අනෙක් අයගේ සහයෝගය ඒ කරන වැඩේ සාර්ථක කරගන්න ඔබට ලබාගන්න බැරිවෙනවා. සමහර විට ඒ හේතුව නිසාම ඔබට  ඔබේ රැකියාව නැතිවෙන්න, ඔබේ ව්‍යාපාරය අසාර්ථක වෙන්න පුළුවන්. මේ නිසා ඔබ දියුණුවක් අපේක්ෂා කරනවා නම්, මෙම කුසලතාවය හදාගන්නම ඕනේ. දැන් අපි ඒ ගැන කතාකරමු.

සහයෝගීතාවයේදී, ඔබ වැඩ කරන අය සමඟ ඇතිකරගන්න “විශ්වාසය” ඉතාම වැදගත්. එවිට තමයි ඒ අය කැමැත්තෙන්ම ඔබට උදව් කරන්නේ, ඔබේ අරමුණ ජයගන්න. එහෙම කණ්ඩායමකට අපි කියනවා ඵලදායී හා කාර්යක්ෂම කණ්ඩායමක් කියලා. එහෙම කණ්ඩායමක් බොහොම පහසුවෙන් ඉලක්ක සපුරා ගන්නවා.

සහයෝගීතා කුසලතාවය වර්ධනය කරගන්න ඔබ මොනවද කළ යුත්තේ?

සහයෝගයෙන් වැඩ කිරීමේ කුසලතාවය ඉබේ ඇතිවෙන හැකියාවක් නෙවෙයි. මේ සඳහා ඔබ සම්පූර්ණ කරගතයුතු තවත් කුසලතා කිහිපයක් තියෙනවා. ඒ ටික ඔබට හදාගන්න පුළුවන් නම් ඔබට “සහයෝගීතාවය” කියන කුසලතාවය හදාගන්න පුළුවන්. හොඳයි! ඉතින් මොනවද මේ අමතර කුසලතා?

පළමුව, “කැමැත්ත”: කුමක්ද? මේ කැමැත්ත කියන්නේ. අපි හිතමු ඔබට විසඳගන්න ගැටලුවක් හෝ ජය ගන්න අභියෝගයක් තියෙනවාය කියලා.  එය තනියම විසඳන්න යන්නේ නැතිව තවත් පිරිසක් එක්ක එකතුවෙලා විසඳාගැනීමේ, එහෙම නැත්නම් ජය ගැනීමේ කැමැත්ත ඔබ ගාව තියෙන්න ඕනේ. මතක තියාගන්න තනියම කරන දේවල් වල ප්‍රතිඵලයට වඩා එකතුවෙලා කරන දේවල් වල ප්‍රතිඵලය හොඳයි. මොකද ඔබට නොපෙනෙන පැති අනෙක් අයට පෙනෙන්න පුළුවන්.

දෙවැනි අවශ්‍යතාවය වන්නේ “ඉවසීම”. ඔබත් එක්ක එකට වැඩ කරන අය සතුව  ඔබට ප්‍රයෝජනවත් වන “දක්ෂතා” වගේම ඔවුන් තුල විවිධ “දුර්වලතා”ත් පවතිනවා. ඔබ ගාවත් එහෙම තමා. ඉතින් ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔවුන්ගේ දක්ෂතා වලින් ප්‍රයෝජන ගන්න ගමන් ඔවුන්ගේ දුර්වලතා ඉදිරියේ ඉවසීමෙන් වැඩ කරන්න.

තුන්වෙනුව. “අවංක කතාබහ”: ඔබට සහයවන්නන් සමඟ (ඔබේ කණ්ඩායමේ) අවංකව, ඔබේ ප්‍රශ්න, අවශ්‍යතා කතාබහ කරන්න හා ඔවුන්ගේ අදහස්, යෝජනා ලබාගැනීමට ඔබ තුල සැබෑ උනන්දුවක් තියෙන්න ඕනේ. එවිටයි  ඔවුන්, ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්නේ. ඒ සඳහා ඔබ ඔවුන්ව දිරිමත් කරන්න ඕනේ. ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම් අගය කරන්න ඕනේ.

හතරවෙනුව, “ලකුණු දෙන්න”: කණ්ඩායමේ කෙනෙක්ගේ අදහසක් නිසා ප්‍රශ්නයක් විසඳුනා කියලා හිතන්න. දැන් ඔබ හැමෝම ඉදිරියේ එය අගය කරන්න. කණ්ඩායමට ස්තුතිවන්ත වන්න. ඔහුගේ දායකත්වය පැසසුමට ලක්කරන්න.

පස්වෙනුව “සවන්දෙන්න”: ඔවුන්ටත් අපට වගේම පුද්ගලික, රැකියාවට අදාල යම් යම් ප්‍රශ්න තියෙනවා. ඔබ සමඟ වැඩ කරන හැමෝටම දැනෙන්න ඕනේ ඔවුන්ට ඕනෑම දෙයක් ඔබත් එක්ක බයක් නැතිව කතාකරන්න පුළුවන් කියලා. ඔබ තමා ඒ පරිසරය හදන්න ඕනේ. ඒ වගේම  හැකි හැම විටම හැකි උපරිමයෙන් ඒවා විසඳාගන්නත් ඔබ මැදිහත් වෙන්න ඕනේ.

හයවෙනුව “වගකීම භාරගන්න”: අපි හිතමු යමක් සැලසුම් කරපු විදියට කරගන්න බැරි වුණා කියලා. මොනව හරි දෙයක් වැරදුණා කියලා. කිසි වෙලාවක ඒකේ වරද අනික් අය මත පවරන්න, ඇඟිලි දිගු කරන්න යන්නත්  එපා. වගකීම ඔබම භාරගෙන, “හොඳයි අපි මේක නිවැරදි කරගනිමුකෝ” වගේ දෙයක් කියලා, පුළුවන් නම් පුංචි විහිළුවකුත් කරලා ආයේ වැඩ පටන් ගන්න. වැරදීම නිවැරදි කරගන්න එයාලගේ සහය ගන්න. බලන්න, එහෙම කළහම කණ්ඩායමෙන් ඔබට ලැබෙන සහය.

සහයෝගීතාවය ඇතිවන්නනම්.

■ ඔබේ ඉලක්කය හා ඒ සඳහා ඔබ, ඔබේ කණ්ඩායමෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? පැහැදිලිව තීරණය කරන්න.

■ කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගේම කුසලතා (සහ ඔවුන්ගේ දුර්වලතා) තේරුම් ගන්න. ඔවුන්ට සැබවින්ම කළ හැකි කාර්යයන් ඔවුන්ට පවරන්න උත්සාහ කරන්න.

■ ඔවුන්ගේ ඕනෑම ප්‍රශ්නයක් ඔබ සමඟ කතා කරන්න පුළුවන්වනසේ ඔවුන්ට විවෘත වන්න.

■ නිතරම අදාල තොරතුරු ඔවුන් සමඟ බෙදා හදා ගන්න. නැති නම්  හරියට අඳුරේ අතපත ගානවා වගේ වැඩක් වෙනවා. අවශ්‍ය තොරතුරු ඔවුන්ට ලබාදීමෙන් අසාර්ථක වීමට හා අත්වැරදීම් වලට ඇති ඉඩකඩ අඩු කරගන්න පුළුවන්.

■ ඔවුන්ගේ අදහස් ලබාගන්න. ඒ සඳහා ඔවුන් සමඟ කතාබහ කරන්න. හොඳම අදහස් එන්නේ එකට එකතුව කතාබහ කිරීමෙන්.

■ සෑම දෙනාගේම එකඟතාවය ඇතිව වැඩ කටයුතු සැලසුම් කිරීමට හා ක්‍රියාත්මක කිරීමට   උත්සාහ කරන්න. තනි මතයට කටයුතු කිරීමෙන් වළකින්න. අන් අයට ඇහුම්කන් දී වඩාත් ප්‍රායෝගික හා කාර්යක්ෂම සැලසුම් සකස්කරගන්න පුළුවන්.

■ වරදක් සිදුවිය හැකි තැන් ගැන නිතරම විමසිල්ලෙන් සිටින්න. ඒවා වළක්වාගන්න කටයුතු කරන්න. අන්තරායන් කලින් දැනගැනීම, අවසාන ඉලක්කය දැන ගැනීම තරම්ම වැදගත්.

■ මහන්තත්වයෙන් මිදෙන්න. මෙය කණ්ඩායම් ව්‍යාපෘතියක් මිස ඔබේ තනි ව්‍යාපෘතියක් නෙමෙයිනේ. සියල්ලන් සමඟ එක්ව වැඩ කිරීමට පුරුදු වන්න. එවිට, ඔවුන්ද කණ්ඩායමේ කොටස් කරුවන්ය හා ඔවුන්ටද කණ්ඩායම තුල ඉඩක් ඇතිබව ඔවුන්ට දැනෙනවා. එවිටයි ඔවුන්ගේ උපරිමය ඔවුන් කණ්ඩායමට ලබා දෙන්නේ.

■ ඔබෙන් වරදක් වුවහොත් සමාව ගන්න. අනෙක් අයගේ වැරදි ගැන වාද විවාද නොකරන්න.

■ ක්‍රියාකාරී සැලැස්මක් සකසාගන්න. එහි, ඒ ඒ වැඩ කටයුතු අවසන් කළයුතු දිනය ,ඒ ඒ  කටයුත්තට අදාල කාල වකවානු හා ඒවාට වගකිව  යුතු අය පැහැදිලිව නම් කරන්න . ඒ වගේම හැම අයෙකුටම පෙනෙන තැනක එය ප්‍රදර්ශනය කරන්න පුළුවන්. එවිට  හැමෝම දන්නවා කුමක්,  කවුරුන් විසින්, කවදා වනවිට අවසන් කළයුතුද කියලා.

■ බැරෑරුම් අවස්ථාවලදී පුංචි විහිළුවකින්  කණ්ඩායම සතුටින් තියන්න. සිනාසෙන  කණ්ඩායමක් කනස්සල්ලෙන් ඉන්න අයගෙන් පිරුණු කණ්ඩායමකට වඩා වැඩි දෙයක් කරන බව අමතක කරන්න එපා.

■ ඔබ, ඔබේ කණ්ඩායම ඵලදායී  කරගැනීමට තාක්ෂණික මෙවලම් භාවිතා කරන්න. ඒවාට ඔවුන් හුරු කරන්න.

■ අවසාන වශයෙන්, කණ්ඩායමේ ප්‍රගතිය අධීක්ෂණය කරන්න. නියමිත කාල වකවානු වලට  කටයුතු අවසන් කරන බවට වග බලා ගන්න. අධීක්ෂණය නොකරන විට කණ්ඩායමට කලට වේලාවට  කටයුතු නිම කිරීමේ පෙළඹවීමක් ඇතිවෙන්නෙත් නැහැ.

කාර්යය මණ්ඩල සාමාජිකයින් බොහොමයක් ඉන්න සමාගම්වලට “සහයෝගීතාවය” ඉතාම අවශ්‍යයි. ඒ වගේම එය එදිනෙදා ජීවිතයේදීත් වැදගත් වෙනවා. එම නිසා, සහයෝගයෙන් කටයුතු කිරීමට ඉගෙන ගැනීම, වඩා හොඳ කණ්ඩායම් සාමාජිකයෙකු  වීමටත්, ඔබේ සාර්ථකත්වය උදාකරගැනීමටත් ඔබට උපකාරී වෙනවා.

You may also like

Leave a comment