සාමූහිකත්ව

Teamwork

 

සාමූහිකත්ව/කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ කුසලතාවය 

 

රැකියාවේදී, ඔබට කණ්ඩායමක හෝ විවිධ කණ්ඩායම් සමඟ වැඩ කරන්න වෙනවද? එසේ නම්, කණ්ඩායමක් ලෙස වැඩකිරීමේ හැකියාව ඔබට අත්‍යවශ්‍ය කුසලතාවයක්. ඔබ ඔබේ කණ්ඩායමත් එක්ක වැඩ කරන ආකාරය මත තමයි කණ්ඩායම ඔබට දක්වන ප්‍රතිචාර  තීරණය වෙන්නේ. ඒ නිසා සාමූහිකව වැඩ කිරීම කාර්යාලයක දී ඉතාම වැදගත්.

 

කණ්ඩායමක් ලෙස වැඩ කිරීම කියන්නේ කුමක්ද?

 

කණ්ඩායමක් ලෙස  වැඩ කිරීම කියන්නේ  “යම්කිසි පැවරූ කාර්යයක් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස සම්පූර්ණ කිරීම සඳහා  පිරිසක් සමඟ සාමූහිකව වැඩ කිරීමේ හැකියාව”. මෙය වර්තමාන වැඩ ලෝකයේ ඉතා වැදගත්  කුසලතාවයක්. ඒ නිසා බොහෝ සමාගම් කණ්ඩායම් හැඟීමෙන් යුතුව වැඩ කළ හැකි අය සඳහා විශේෂ කැමැත්තක් දක්වනවා.

 

කණ්ඩායමක් ලෙස වැඩ කිරීම හා හොඳ කණ්ඩායම් සාමාජිකයෙකු බවට පත්වන්නේ කෙසේද?

 

ඔබට කණ්ඩායමක් සමඟ සාමූහිකව  වැඩ කිරීමට අවශ්‍ය නම්, ඔබ ප්‍රථමයෙන්ම අන් අය සමඟ  සංවේදීව හා ගෞරවයෙන් වැඩ කිරීමට සූදානම්  විය යුතුයි . අප ජීවත්වන සමාජයේ, විවිධ අදහස් හා මතයන් ඇති අය සිටිනවා.  ඔවුන්ගේ එම අදහස් වලට ද ගරු කිරීමකින් තොරව, අපට සමාජීය ජීවිතයක් ගතකළ නොහැකි බවත් අප තේරුම්ගන්න ඕනේ. ඒ වගේම කාර්යාලයේදීත්, අපට  නිරන්තරයෙන් හමුවන  විවිධ අත්දැකීම් හා අදහස් ඇති අයව අමතක කරලා අපිට වැඩ කරන්න බැහැ. ඒ අවබෝධය තිබුණොත් තමයි අපිට කණ්ඩායමක් ලෙස වැඩකරගෙන යන්න පුළුවන් වෙන්නේ.

උදාහරණයක් විදිහට කණ්ඩායම් රැස්වීමකදී  අප කතා කළ යුතු දෙය හා නොකළ යුතු දෙය පිළිබඳව අපට අදහසක් තියෙන්න ඕනේ. අපි අපේ සීමාවන් හඳුනා ගන්න ඕනේ.  කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුම එකිනෙකාට ගරුකිරීම ඉතාම වැදගත්. වෛරී සහගත ප්‍රකාශ , සමච්චලයට ලක් කිරීම , හිරිහැර කිරීම සහ අගෞරව කිරීම වගේ දේවල් කොහෙත්ම කණ්ඩායම තුල සිදු නොවෙන්න ඕනේ.  .

 

කණ්ඩායම් ක්‍රියාකාරිත්වයේ මූලිකාංග.

 

■    පැහැදිලි දිශාව: ව්‍යාපෘතියේ අරමුණු ළඟාකර ගත හැකිවන  ආකාරයේ දැක්මක් කණ්ඩායමට තිබිය යුතුයි.

 

■    සන්නිවේදනය: කණ්ඩායම  කළ යුත්තේ කුමක්ද කියලා දන්නේ නැත්නම් ඔවුන්ට මුකුත් කරන්න බැහැ. ඒ නිසා කණ්ඩායම තුල නිතර සන්නිවේදනය හොඳින් සිදුවෙන්න ඕනේ.

 

■    එක් එක් පුද්ගලයාට  කළ යුතු දේ පැහැදිලිව ප්‍රකාශ කරන්න :  “කුමන කටයුත්ත, කවුරුන් විසින්, කවදා  වනවිට කළ යුතුද” කියලා හැමෝටම දැනගන්න සලස්වන්න. එහෙම කළහම හැමෝම දන්නවා ඒ ඒ කොටසේ  වගකීම භාර කාටද කියලා.

 

■    වැඩ පැවරීම:  සැවොම එක් දෙයක් කළ යුතු ද? නැත. එමෙන්ම එක් අයෙක් හැමදෙයම කළ යුතු ද?  නැත. එමනිසා එය වඩාත් හොඳින් කළ හැකි  කණ්ඩායම් සාමාජිකයාට එම කටයුත්ත පවරා  කණ්ඩායම දියුණු වන ආකාරය බලන්න.

 

■    ඉලක්ක තැබීම:  ඉතා “පැහැදිලි සහ පොදු අරමුණු” තිබීම කෙටිකාලීන හා දිගු කාලීනව කණ්ඩායමට උපකාරී වේ.

 

■    හොඳ සම්බන්ධතාවයන් තුලින් කාර්යක්ෂමතාව: කණ්ඩායම හා කණ්ඩායමේ සාමාජිකයන්  තුල හොඳ සම්බන්ධතාවයන් වර්ධනය වන විට, කණ්ඩායමේ කටයුතු වල කාර්යක්ෂමතාවය හා  ඵලදායීතාවය වර්ධනය වේ.

 

■    බුද්ධි කළම්භනය : සියලු හොඳ ව්‍යාපෘති එළියට එන්නේ හොඳ බුද්ධි කළම්භන  සැසි වලිනි. හොඳම දේ ඉස්මතු වන තුරු කණ්ඩායමට ඔවුන්ගේ සියලු අදහස් ඉදිරිපත් කිරීමට ඉඩ දෙන්න.

 

■    සහාය වන්න : කණ්ඩායමක් ලෙස ඔවුන් කළ යුත්තේ කුමක්දැයි යන තීරණය ගන්නට ඔවුන්ට සහාය වන්න . එවිට කණ්ඩායමක් ලෙස ඔවුන් ඉටුකළ යුතු දෙය ඉටු කිරීමට ඔවුන්ට හැකිවනු ඇත.

 

■    ධෛර්යමත් කරන්න:  ඇගයුමට ලක්විය යුතු කණ්ඩායම් සාමාජිකයෙකු වේවා, වෙනස් ආකාරයේ , එහෙත් උසස් අදහසක් ඉදිරිපත් කරනා කණ්ඩායම් සාමාජිකයෙකු වේවා,  ඔවුන් අගය කිරීම හා  දිරිමත් කිරීම කණ්ඩායම් නායකයා හා සෙසු සාමාජිකයින් කළ යුතුය.

 

■    විශ්වාසය: කණ්ඩායමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා කණ්ඩායම කෙරෙහි විශ්වාසය ගොඩනඟාගන්න.

 

නිවැරදිව කරනා විට කණ්ඩායම් ක්‍රියාකාරකම්  ඉතා විනෝදජනක විය හැකි අතර, “ඔබ”, (එහි ඔබගේ කාර්යයභාරය කුමක් වුවත්), කණ්ඩායම සාර්ථක ද , අසාර්ථක ද  යන්න තීරණය කිරීමේ සාධකය විය හැකිය. සෑම විටම ධනාත්මකව   ඔබේ කණ්ඩායම් සගයන්ට සහාය වන්න, එවිට ඔබේ කණ්ඩායම සමඟ වැඩ කිරීම ඉතා විනෝදජනක බව ඔබට පෙනී යනු ඇත.

You may also like

Leave a comment